මිනිසා යන සත්ත්වයා මනස සහ ශරීරය, එනම් සිත සහ කය යන අංශ දෙකෙන් යුක්ත බව අපි කවුරුත් දනිමු. මනස උසස් වූ යන අර්ථය ඇතුව මන උස් නිසා මනුස්ස යන පදය යෙදී ඇති බව අපට පිළිගත හැකි ය. මිනිසා යන සත්ත්වයා දෙස සිත සහ කය යන කෝණ දෙකෙන් ම අපට බලන්න සිදු වේ. අපේ කය පිළිබඳ අපට අපේ සිතින් පහසුවෙන් සිතිය හැකි ය. එසේ නමුත්, අපේ සිතින් අපේ සිත ම පිළිබඳ විමසන්නේ කෙසේ ද? දියමන්තියක් කැපීමට දියමන්ති කැබැල්ලක් ම දියුණු–තියුණු කරගත යුතු ය. ඒ වගේ ම, අපේ සිත පිළිබඳ විමසා බැලීමට අපේ සිත ම අප විසින් ස්වෝත්සාහයෙන් ම දියුණු–තියුණු කරගත යුතු ය. එනම්, භාවනා කළ යුතු ය.
සිත පිළිබඳ සෙවීම සඳහා බෞද්ධයකුට ඇති හොඳ ම ක්‍රමය නම්, ධම්මපදයෙන් පටන් ගැනීම ය. ධම්මපදයේ පළමුවැනි ගාථාව කුමක් දැ යි බොහෝ දෙන දනිති. එනම්:
“මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨෙන
භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමත්ණෙලති
චක්කංව වහතෝ පදං”
(ධම්මපදය යමකවග්ගය)
මෙම ගාථාවෙහි තේරුම මෙසේ ය:
“සිත සිතිවිලිවලට පෙරටු වේ. සිත සිතිවිලිවලට ශ්‍රේෂ්ඨ වේ. සිතිවිලි සිතින් ම උපදී. ඉතින් යමෙක් කිලිටි සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් හෝ වේවා, ඒ හේතුවෙන් ගොනාගේ පය අනුව යන කරත්ත රෝදය මෙන් දුක ඔහු පසු පස ලුහුබඳී.”
(සිංහල ධම්මපදය, ආචාර්ය මුවගම ඤාණසීහ නාහිමි)
මේ ගාථාව සමග සම්බන්ධ වන නිදාන කථාව වැදගත් වන බැවින් එය දැන් ඉතාමත් ලුහුඬින් පහත දැක්වීම උචිත ය:
පාලිත නම් ධනවත් ගෘහපතියෙක් සසර දුක පිළිබඳ කලකිරී, තමාගේ සියලු සම්පත් බාල සොහොයුරාට පවරා දී, බුදුන් වහන්සේ වෙත ගොස් පැවිදි විය. වයස්ගත වී පැවදි වූ නිසා මහණකමෙහි අග්‍ර ඵලය වන රහත් භාවය වහ–වහා ලබාගැනීම සඳහා එම තෙරුන් වහන්සේ නිදි නොලබා ම විදර්ශනා භාවනාවෙහි යෙදුණහ. මේ නිසා උන් වහන්සේගේ ඇස් දෙක ම දරුණු රෝගාබාධයකට පත් විය. දෑස්වලට පිළියම් කිරීම සඳහා වෛද්‍යවරුන් දුන් උපදෙස් උන් වහන්සේ නොපිළිගත්හ. දිගට ම විදර්ශනා භාවනා කර උන් වහන්සේ රහත් වූ හ. එවිට ම දෑස් අන්ධ විය. උන් වහන්සේගේ නම චක්ඛුපාල විය.
චක්ඛුපාල රහතුන් වහන්සේ පෙර භවයක දී දක්ෂ වෛද්‍යවරයකු වශයෙන් විසූහ. දරුණු ඇස් රෝගයක් සුව කරවාගැනීම සඳහා තමා වෙත පැමිණි ගැහැනියක හට බෙහෙත් කර, ඔහු ඇයගේ ඇස් සුවපත් කළේ ය. එසේ වුවත් ඇය, ලෝභකම නිසා, වෛද්‍යවයාට ගෙවීම් කිසිවක් නොකරන අදහස ද ඇති ව ඇස් සුව නොවූ බවක් කියා වෛද්‍යවරයා රැවටී ය. වෛද්‍යවරයාට කාරණය අවබෝධ වී, තමාගේ සිත කිලිටි කරගෙන, ඇස් තවත් සනීප වීම සඳහා ය යි කියමින් විෂ සහිත බෙහෙතක් ඇයගේ ඇස් දෙකට දමා, ඇයගේ ඇස් දෙක ම අන්ධ කළේ ය. අවසාන භවයේ දී චක්ඛුපාල රහතුන් වහන්සේගේ දෑස් අන්ධ වූයේ එදා වෛද්‍යවරයා වශයෙන් සිටිය දී කිලිටි සිතින් කළ ක්‍රියාව නිසා ය.
මෙම චක්ඛුපාල කථා වස්තුව බුදුන් වහන්සේ දෙසා වදාළේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර දී ය. මෙවැනි නිදාන කථා අප අතර කොතරම් ප්‍රකට ද?
ධම්මපදයෙහි දෙවැනි ගාථාව මෙසේ ය:
“මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති
ඡායාව අනපායිනි”
(ධම්මපද, යමකවග්ගය)
මෙම ගාථාවෙහි තේරුම මෙසේ ය:
සිත සිතිවිලිවලට පෙරටු වේ. සිත සිතිවිලිවලට ශ්‍රේෂ්ඨ වේ. සිතිවිලි සිතින් ම උපදී. ඉතින් යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් හෝ වේවා, ඒ හේතු කොටගෙන ඉවත් නොවී පසුපස යන සෙවණැල්ල මෙන් ඒ සැප විපාකය ඔහු පසුපස යයි.”
(සිංහල ධම්මපදය, ආචාර්ය මුවගම ඤාණසීහ නාහිමි)
මෙම ගාථාව සමඟ සම්බන්ධ වන නිදාන කතාව වැදගත් වන බැවින්, එය දැන් ඉතාමත් ලුහුඬින් පහත දැක්වීම උචිත ය.ධනයෙන්, දේපළවලින් සහ සියලු යස–ඉසුරින් සරු වූ, බමුණෙක් සැවත් නුවර විසුවේ ය. ඔහු ඉතාමත් මසුරු කෙනකු වූ අතර, ඔහු කිසිවකුට–කිසිවක් වත් නුදුන්නේ ය. ඒ නිසා ඔහු අදින්නපුබ්බක නම් විය. අන්ත ලෝභකම නිසා ඔහු කෑම–බීම ගත්තේ හා ඇඳුම්–පැලඳුම් පාවිච්චි කළේ ඉතාමත් අල්ප වශයෙනි. ඔහුගේ එක ම පුතාට ද ඔහු සැලකුවේ එම මසුරු ආකාරයෙන් ම ය. මේ පුතා හට රත්රන් කන් ආභරණ සැදවීම සඳහා රන්කරුවන්ට වියදම් කිරීමට මැළි ව, ඔහු රත්රන් කැබලි නිකම් ම තළා, මට්ටම් කර, පුතාගේ කන්වල පැලඳෙව්වේ ය. මේ නිසා බමුණු පුතාට මට්ටකුණ්ඩලී යන නම ලැබිණ. අන්ත මසුරුකම නිසා අදින්නපුබ්බක බමුණු පියා, මට්ටකුණ්ඩලී පුතුට කිසිම ශිල්ප–ශාස්ත්‍රයක් ඉගැන්වූයේ නැත; හරියට කෑම–බීම” ඇඳුම්–පැලඳුම් සැපයුවේ නැත; ලෙඩට නියම බෙහෙත් වෙදුන්ගෙන් ලබා දුන්නේ නැත. එසේ වුවත් මට්ටකුණ්ඩලී ගුණවත් කෙනෙක් විය. නිසි සැප–සාත්තු නොමැති වූ නිසා, මට්ටකුණ්ඩලී අසනීප වී, බලවත් ලෙස රෝගී විය. ගෙදරට වෙදුන් ගෙන්වා වෙදකම් කරවාගන්නට ගිය හොත් මහත් වියදම් වෙයි; ගෙදර ඇති අතිමහත් වස්තු සම්භාරය, වෙදුන්ටත් ලෙඩා බලන්නට එන අයටත් පෙනෙයි, ආදි අදහස් නිසා අදින්නපුබ්බක පියා, අසාධ්‍ය ලෙස රෝගි වූ මට්ටකුණ්ඩලී පුතු ගෙදර ඉස්තෝප්පුවට ඇදගෙනැවිත් දැම්මේ ය. මට්ටකුණ්ඩලී සිහි නැති ව මරණයට ළඟා වෙමින් සිටින විට, බුදුන් වහන්සේ මහාකරුණාවෙන් මට්ටකුණ්ඩලී වෙතට වැඩියහ. මරණාසන්න වූ මට්ටකුණ්ඩලීගේ සිත පැහැදී ප්‍රසන්න විය. ඔහු මිය ගොස් මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රය ලෙස දෙව්ලොව උපන්නේ ය.
මෙම මට්ටකුණ්ඩලී කථා වස්තුව බුදුන් වහන්සේ දෙසා වදාළේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර දී ය.
ඉහත සඳහන් කරන ලද ගාථා දෙකෙහි ඇතුළත් වන හරය මෙසේ සංක්ෂිප්ත ව ඉදිරිපත් කළ හැකි ය:
පවිටු සිතින්, එනම් නරක සිතින්, යමෙක් කිසිවක් කළ හොත් එහි ප්‍රතිඵල, ගොනා පිටුපස කරත්ත රෝදය එන මෙන් ඔහු පසුපස එයි. පහන් සිතින්, එනම් හොඳ සිතින් යමෙක් කිසිවක් කළ හොත් එහි ප්‍රතිඵල තමාගේ සෙවණැල්ල මෙන් ඔහු පසුපස එයි.මේ අනුව, සසර ගමන දුකින් තොර ව කෙළවර කරගැනීමට නම් සිත නො කිලිටි ව ප්‍රසන්න ව පවත්වාගෙන යෑම සඳහා එය හොඳින් තබාගත යුතු ය. මේ වූකලි, බුදුන් දෙසූ නිවන් මඟෙහි පළමුවැනි පියවර යි.
දැන් අප විසින් සලකා බැලිය යුතු ප්රශ්නය නම්, ඉතා පහසුවෙන් කිලිටි වන සිත ආරක්ෂා කරගත යුතු වන්නේ ඇයි ද යන්න යි. මේ සඳහා ස්ථිර පිළිතුරක් ධම්මපදයේ චිත්ත වග්ගයෙන් අපට ලබා ගත හැකි ය.
“සුදුද්දසං සුනිපුණං
යත්ථකාමතිපාතිතං
චිත්තං රක්ඛේථ මේධාවි
චිත්තං ගුත්තං සුඛාවහං
(ධම්මපද, චිත්තවග්ග)
මෙම ගාථාවෙහි තේරුම මෙසේ ය:
“නුවණැත්තා දැකීමට අමාරු වූ, ඉතා සියුම් වූ, කැමති අරමුණක් ගන්නා වූ සිත රකින්නේ ය. රකින ලද සිත සැප ගෙන දෙන්නේ ය.
(සිංහල ධම්මපදය, ආචාර්ය මුවගම ඤාණසීහ නාහිමි)
මේ ගාථාවට අදාළ නිදාන කථාව ඉතාමත් ලුහුඬින් මෙසේ ය:
සැවැත් නුවර ඉතා යහපත් ලෙස ජීවත් වූ සිටු කුමාරයෙක් තුනුරුවන් කෙරෙහි ඉතාමත් භක්තියෙන් සිටිමින්, බොහෝ සිල්වත් වූ තෙරුන් වහන්සේ නමක් ඉතා සමීප ලෙස ආශ්‍රය කළේ ය. තෙරුන් වහන්සේ දුන් අවවාද පිළිගත් සිටු කුමාරයා බෙහෙවින් ම දන්–පින් කළේ ය; දසසිල් පවා සමාදන් විය. මෙයිනුත් පසු තමා විසින් තවත් කළ යුතු වන්නේ කුමක් දැ යි සිටු කුමාරයා තෙරුන් වහන්සේගෙන් විමසී ය. තෙරුන් වහන්සේ සිටු කුමාරයාට පැවිදි වන ලෙස උපදෙස් දුන්හ. ඉන් පසු සිටු කුමාරයා ඉතා සිල්වත් හා ගුණවත් තෙරුන් වහන්සේලා දෙනමක් යටතේ ඉගෙනගනිමින් මහණ දම් පිරීම ආරම්භ කළේ ය. දහම පිළිපැද්දවීම සහ ඉගැන්වීම සඳහා දැඩි ලෙස ගුරු තෙරුන් වහන්සේලා වෑයම් කිරීම නිසා, මෑත දී මහණ වූ ශිෂ්‍ය තෙරුන් වහන්සේගේ සිත කලකිරුණේ ය. මෙහි ඇති සෙතක් නැතැයි ශිෂ්‍ය තෙරුන් වහන්සේ සිතන්නට වූ හ: සිවුරු හැර යෑමට ද අදහසක් ඇති විය. මේ තත්ත්වය අවබෝධ කරගත් ගුරු තෙරුන් වහන්සේ දෙනම, ශිෂ්‍ය තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ වෙත ගෙන ආ හ. දකින්නට නොහැකි වූ ද ඉතා සූක්ෂ්ම වූ ද සිත, ඥානවන්තයා විසින් ආරක්ෂා කරගෙන සැප සලසාගන්නා බව, බුදුන් වහන්සේ උකටලී වූ ශිෂ්‍ය තෙරුන් වහන්සේට වදාළහ. එම තෙරුන් වහන්සේ සිත මනා කොට සකසාගෙන, සෝවාන් ඵලය ලැබූ හ.
මෙම උකටලී වහන්දෑගේ කථා වස්තුව බුදුන් වහන්සේ දෙසා වදාළේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර දී ය.
ඉහත සඳහන් කථා වස්තුවෙහි හරය මෙසේ සංක්ෂිප්ත ව ඉදිරිපත් කළ හැකි ය: සැප ලැබීමට නම්, සිත මැනවින් පාලනය කරගත යුතු ය.
“ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවි
උසුකාරෝව තේජනං
(ධම්මපද, චිත්තවග්ග)
මෙම ගාථාවෙහි තේරුම මෙසේ ය:
“නුවණැත්තා සෙලවෙන්නා වූ, චපල වූ, රැකගැනීමට අමාරු වූ, නුසුදුසු අරමුණෙන් වළකාගන්නට නොහැකි වූ, සිත, හීවඩුවකු හීයක් ඇද සකස් කරගන්නාක් මෙන් ඍජු කරයි.”
(සිංහල ධම්මපදය, ආචාර්ය මුවගම ඤාණසීහ නාහිමි)
මෙම ගාථාවට අදාළ නිදාන කථාව ඉතා ලුහුඬින් මෙසේ ය.
සාලීය රට සාලීය පර්වතයෙහි වූ වෙහෙර බුදුන් වහන්සේ විවේක සුවයෙන් වාසය කළ සේක. උන් වහන්සේට එහි දී ඇප–උපස්ථාන කළේ මේඝිය නම් තෙර නමකි. එක් දිනක් බුදුන් වහන්සේ විඩා සංසිඳවනු සඳහා මේඝිය තෙරුන් වහන්සේ සමඟ ගං ඉවුරකට වැඩියහ. එහි ඉතා ලක්ෂණ අඹ වනයක් විය. මේඝිය තෙරුන් වහන්සේගේ සිත, ජනීජනයාගෙන් තොර වූ අඹ වනය කෙරෙහි බෙහෙවින් ම ඇදී ගියේ ය. ඒ අඹ වනයට ගොස් භාවනා කිරීම මැනැවැ යි සිතා, උන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ඒ සඳහා අවසර ඉල්ලූහ. එහි යෑම කල් තබන ලෙස බුදුන් වහන්සේ මේඝිය තෙරුන් වහන්සේට අවවාද කළහ. තුන් වැනි වරටත් ඒ අවසරය ඉල්ලූ කල, බුදුන් වහන්සේ මේඝිය තෙරුන් වහන්සේට තමන්ගේ කැමැත්තක් කරන ලෙස වදාළහ.
භාවනා කිරීම සඳහා අඹ වනයට ගිය මේඝිය තෙරුන් වහන්සේගේ සිත, මතු සඳහන් වන හේතුව නිසා කැලඹී, භාවනා කිරීම අමතක විය. පෙර භවයක දී රජ කෙනකු වශයෙන් ජීවත් ව සිටිය දී, සිත් අලවන නළඟනන් සමඟ කම් සැප විඳිමින් උයන් කෙළියෙහි යෙදුණේ මේ අඹ වනයේ දී ය: එම රජු දවස භවයේ විවිධාකාර රාජ්‍ය පාලන මතක, මේඝිය තෙරුන් වහන්සේගේ සිතෙහි පෙර භව මතක ලෙස උද්ගත විය. ඒ නිසා උන් වහන්සේගේ සිත සසල විය; භාවනාව අමතක විය. ඉන් පසු බුදුන් වහන්සේ වෙත පැමිණ තමාට ඇති වූ දුෂ්කරතාව මේඝිය තෙරුන් වහන්සේ බුදුන් වහන්සේට ප්‍රකාශ කළහ. සිත නිතර පෙරළෙන චපල එකක් බැවින්, එය මැනවින් සකස් කරගෙන, වෑයම් කර, කෙලෙස් නැසිය යුතු බව බුදුන් වහන්සේ මේඝිය තෙරුන් වහන්සේට වදාළහ. එම තෙරුන් වහන්සේ සෝවාන් ඵලය ලැබූහ.
මෙම මේඝිය තෙරුන්ගේ කථාව බුදුන් වහන්සේ දෙසා වදාළේ සාලීය රට සාලීය පවු වෙහෙර දී ය.
ඉහත සඳහන් කරන ලද කථා වස්තුවෙහි ගැබ් වී ඇති මූලික හරය මෙසේ ය: ඇද ඇති ඊය නොමඟ යයි; ඇද හැර ගත් ඊය නිසි මඟ යයි. එමෙන් ම, අපට සැපත කරා යා හැකි වන්නේ සිතෙහි ඇද–කුදු බව හැර, එය මනා කොට නිතර ම හැසිරවීමෙන් පමණකි.යම් කෙනෙක් තම සිත මැනවින් සකස් කරගෙන සංයම වූ තත්ත්වයෙහි පවත්වාගනී නම්, ඔහු සසර දුකෙන් මිදෙන බව ධම්මපදයෙහි චිත්ත වග්ගයෙහි 5 වැනි ගාථාවෙන් මෙසේ සඳහන් කර ඇත.
“දූරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සංයමෙස්සන්ති
මොක්ඛන්ති මාරබන්ධනා.”
(ධම්මපදය චිත්තවග්ග)
මෙම ගාථාවෙහි තේරුම මෙසේ ය:
“යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ, තනි ව හැසිරෙන්නා වූ, සිරුරක් නැත්තා වූ, ශරීර ගුහාවෙහි නිදන්නා වූ මේ සිත සංවර කරත් ද, ඔවුහු මර බැම්මෙන් මිදෙත්.”
(සිංහල ධම්මපදය, ආචාර්ය මුවගම ඤාණසීහ නාහිමි)
මෙම ගාථාවට අදාළ නිදාන කථාව ඉතා ලුහුඬින් මෙසේ ය:
සැවැත් නුවර සංඝරක්ඛිත නම් වූ රහතුන් වහන්සේගේ ඉතා සැදැහැති නැගණියකගේ පුතු වූ බැවින් නෑකමින් බෑනණුවන් වූ භාගින්‍යෙය සංඝරක්ඛිත තෙරණුවෝ, එම රහතුන් වහන්සේගේ ශිෂ්‍යයකු වශයෙන් මහණ දම් පුරමින් විසූහ. භාගින්‍යෙය තෙරුන්ට එක්තරා ගමක වස් වැසීමෙන් පසු ව හත්රියන් චීවර වස්ත්‍රයක් සහ අටරියන් චීවර වස්ත්‍රයක් පුද පඬුරු ලෙස ලැබිණ. නැවත දෙව්රම් වෙහෙරට පැමිණි භාගින්‍යෙය තෙරණුවෝ, අටරියන් වස්ත්‍රය සිය ගුරු හාමුදුරුවන් වූ සංඝරක්ඛිත රහතුන් වහන්සේට පූජා කළහ. තෙරුන් වහන්සේ නැවත–නැවතත් තෙවරක් ම සිවුර ප්‍රතික්ෂේප කළහ. ගිහි කාලයේ දී තම මාමා වුවත්, දැන් සංඝරක්ඛිත රහතුන් වහන්සේ විසින් සිවුර ප්‍රතික්ෂේප කිරීම නිසා භාගින්‍යෙය තෙරුණුවෝ කලකිරුණාහ. මහණ දම් පිරීම දුෂ්කර ය යි තෙරණුවන්ට සිතිණ. මේ අදහස් නිසා ඒ තෙරුන් වහන්සේට සිවුරු හැර යෑමට ද සිතක් ඇති විය. සිවුරු හැර දමා නැවත ගිහිගෙට ගොස්, අටරියන් වස්ත්‍රය විකුණා, ක්‍රමයෙන් ධනයෙන් සරු–සාර වී, ගිහි සැප විඳිමින් සිටින ආකාරය භාගින්‍යෙය තෙරුන් වහන්සේගේ සිතෙහි මැවිණි. ඒ අතර ම, තම ගුරු හාමුදුරුවන්ට විඩා සංසිඳෙනු වස් තල්අත්තෙන් පවන් සලමින් සිටියහ. විවාහ වී, දරුවකු ද ලැබ තම බිරිය සමඟ රහතුන් වහන්සේ දැකීමට යන කල, බිරියගේ ප්‍රමාදයකින් දරුවා රථයෙන් බිමට වැටුණ බව භාගින්‍යෙය තෙරුන් වහන්සේ තම සිතින් දුටහ; මනෝලෝකයෙහි වූ ඒ තෙරණුවෝ, එහි ම වූ, බිරියට රථයේ කෙවිටෙන් තැළූහ. සත්‍ය ලෝකයේ වූ භාගින්‍යෙය තෙරුන්ගේ තල්අතු පහර වැදුණේ සංඝරක්ඛිත රහතුන් වහන්සේට ය. සිය බිරියට පහර දීමට බැරි නිසා ද අපට පහර දුන්නේ? කියා රහතුන් වහන්සේ භාගින්‍යෙය තෙරුන්ගෙන් විමසූ විට, මහත් ලජ්ජාවට පත් තෙරණුවෝ සිවුරු හැර දමා යෑමට පැන ගියහ. අවට සිටි වහන්දෑලා භාගින්‍යෙය තෙරණුවන් බුදුන් වහන්සේ වෙත එක්කරගෙන ගියහ. බොහෝ දුර ගමන් ගන්නා සිත සංවර කරගෙන සසර කෙළවර කරගත හැකි බව බුදුන් වහන්සේ භාගින්‍යෙය තෙරුන් ඇතුළු රැස් ව සිටි වහන්දෑලාට වදාළහ. භාගින්‍යෙය තෙරුන් වහන්සේ නැවතත් නිවන් මඟ ගමන් කිරීමෙහි යෙදුණහ.
මෙම භාගින්‍යෙය-සංඝරක්ඛිත කථා වස්තුව බුදුන් වහන්සේ දෙසා වදාළේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර දී ය.
ඉහත සඳහන් කථා වස්තුවෙහි මූලික හරය මෙසේ සඳහන් කළ හැකි ය: ක්ෂණයෙන්–ක්ෂණය ඈත–මෑත විවිධ අරමුණු එක් වරකට තනි එකක් පමණක් ගන්නා සිත, යම් කෙනෙක් සංවර කර සංයමයෙන් තබාගනී ද, ඔහු මාර බන්ධනයෙන් හෙවත් සසර භව දුකෙන් මිදෙයි.
උපුටා ගැනීම -
https://dahamsabava.wordpress.com/
උපුටා ගැනීම -
https://dahamsabava.wordpress.com/