භාවනාවෙන් ජය ගැනීමට නම්...

භාවනාවෙන් ජය ගැනීමට නම්...
ධර්මවේදි, පූජ්‍ය
නාලන්දේ විමලවංස හිමි
සාර්ථක ලෙස භාවනාවේ යෙදීමට අවශ්‍ය උපදෙස් රැසක් මේ ලිපියෙන් ලැබේ.

යම් කිසි පුද්ගලයකුට ධර්මය අවබෝධ කරගැනීමට අපහසු වන කරුණු හයක් ඇත. එහෙත් මේවා තිබූ පමණින් ධර්මය අවබෝධ කරගැනීම අපහසු ය යි නොසිතිය යුතු ය. මෙම හයෙන් එකක් දෙකක් තිබුණ ද ඉතිරි කරුණු යහපත් පැත්තට යොමු කරගත හැකි ය. මෙම කරුණුවලින් යුක්ත වූවකුට ලබාගත නොහැකි වන්නේ ධර්මාවබෝධය පමණකි. එහෙත් සීල භාවනා තුළින් ලැබිය හැකි දිට්ඨධම්මවේදනීය ඉෂ්ට විපාකයන් අඩුවක් නැති ව ලැබෙන අතර, මතු භවයන්හිදී ධර්මාවබෝධය ලැබීමට ද ඉවහල් වෙයි. එම කරුණු හය ඉතා කෙටියෙන් මෙලෙස දැක්විය හැකි ය:
1. කම්මාවරණේන සමන්නාගතා - ආනන්තරිය පාප කර්ම කළ පුද්ගලයා: ඔහු ඊළඟ භවයෙහි අපාගත වීම නොවැළැක්විය හැකි ය.
2. විපාකාවරණේන සමන්නාගතා - අහේතුක, ද්විහේතුක ප්‍රතිසන්ධියකින් යුක්ත පුද්ගලයා: අහේතුක දුගති ප්‍රතිසන්ධිය ලැබූවෝ නම් අපායෙහි උපන් සත්ත්වයෝ ය. අහේතුක සුගතියෙහි උපන්නෝ නම් මනුෂ්‍ය ව උපනත් ජාති අන්ධාදි අභව්‍ය ලක්ෂණයන්ගෙන් යුක්ත වූවෝ ය.
3. කිලේසාවරණේන සමන්නාගතා - නියත මිථ්‍යා දෘෂ්ටි ගත්තෝ ය: ඔවුන්ට මාර්ග ඵල ලැබිය නොහැකි ය.
4. අසද්ධා - බුද්ධාදි රත්නත්‍රය විෂයයෙහි ඇදහීමක් නැත්තෝ ය: මොවුන් ශ්‍රද්ධාව ඇති කරගෙන කටයුතු කළ හොත් ධර්මාවබෝධය ලබාගත හැකි ය.
5. අච්ඡින්දිකා - කුසල් කිරීමට අකැමැති පුද්ගලයෝ ය: පින් කිරීමට අකැමැති ඔවුහු සිල් නො රකිති; බවුන් නො වඩති. එය නිර්වාණාවබෝධයට බාධාවකි.
6. දුප්පඤ්ඤා - ප්‍රඥාව නැති අය යි: අනුවණයාට ධර්මය පසක් කරගත නොහැකි ය.
මෙම කරුණුවලට අමතර ව නිර්වාණාවබෝධයට බාධා ඇති කරන කරුණු ‘කන්දරක’ අටුවාවෙහි දක්වා ඇත. එනම් 1. කිරියපරිහානි - කාර්ය බහුල බව භ. ධර්මය දේශනා කරන අතර ඇතැම් දෙනා කාර්ය බහුල බව කියමින් ඉවත් ව යති. එවැන්නන්ට ධර්මය අවබෝධ කරගත නොහැකි ය. 2. පාපමිත්තතා - පාප මිත්‍රයන් ඇසුරු කිරීම යි. ඇතැම්හු ස්ත්‍රී ධූර්තයන්, සුරා ධූර්තයන් ඇසුරු කරති. බරණැස් නුවර සිටි මහධන සිටු පුත්‍රයා සහ අජාසත්ත වැනි අය නිදසුන් වශයෙන් ගත හැකි ය. ඉහත සඳහන් කරුණු අතරින් අසද්ධා, අච්ඡන්දිකා, දුප්පඤ්ඤා, කිරියපරිහානී, පාපමිත්තතා යන කරුණු නිසා මග පල ලැබීම කෙසේ වෙතත් මෙලොව දියුණුව ද ලබාගත නොහැකි ය. එබැවින් මෙබඳු දුර්වලතා මගහරවාගෙන මෙලොව, පරලොව අභිවෘද්ධිය සලසාගැනීමට මෙන් ම, මාර්ග ඵල අවබෝධ කරගෙන සසරින් නිදහස් වීමට උත්සුක විය යුතු ය.
භාවනා කරන පින්වතකු තුළ තිබිය යුතු විශේෂ කරුණු තුනක් ඇත. එනම් 1. සීලක්ඛන්ධ - පස් පව්වලින් වැළකීමෙන් පටන් ගෙන ආර්ය සීලක්ඛන්ධයෙන් සමන්විත වීම කාය චිත්ත ඒකාග්‍රතාව ඇති කරගැනීමට හේතු වෙයි. 2. සමාධිස්ඛන්ධ - ආර්ය ශීලයෙන්, ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන්, ආර්ය සතිසම්පජඤ්ඤයෙන් සමන්විත වීම යි. 3. පඤ්ඤාස්කන්ධ - පිරිසිදු, සමථ විදර්ශනා භාවනාවට යෝග්‍ය වූ නිසල බවට පත් වුණා වූ සිතක් තිබීම භාවනාව කෙරෙහි ඇල්මක් ඇති කරයි.

මහණෙනි, භාවනාවෙහි යෙදෙන යෝගාවචරයකු විසින් එම අවස්ථාවට ගැළපෙන ආකාරයට සමාධි නිමිත්ත ද, ප්‍රග්ගහ නිමිත්ත ද, උපේක්ඛා නිමිත්ත ද මෙනෙහි කරන්නේ නම් ඔහුගේ සිත සුභාවික බැවින් මොළොක් වෙයි; ප්‍රභාවිත වෙයි; එසේ ම ක්‍රියාශීලී වෙයි; පිරිසිදු වෙයි; වෙනස් නොවී පවතියි; ආශ්‍රවයන් ප්‍රහීන කිරීම පිණිස ම පවතියි.’ මෙම කරුණු පිළිබඳ ව තව දුරටත් පැහැදිලි කරන බුදු රජාණන් වහන්සේ රන්කරුවකුගේ ක්‍රියා කලාපය උදාහරණ වශයෙන් දක්වති. රන් භාණ්ඩ නිර්මාණය කරන ශිල්පියකු රන් උණු කිරීමට අවශ්‍ය කරන උදුනක් බඳියි; එම උඳුන දැල්වීමට අවශ්‍ය කරන අ¼ගුරු යොදයි. ඉන් පසු ව උඳුනෙහි මුඛය ගිනි දල්වයි; අඬුවක් වැනි උපකරණයකින් රන් කැබැල්ල අල්ලා උඳුනට යොමු කරයි; විටින් විට පිඹියි; විටින් විට වතුර ද ඉසියි.
මෙලෙස රන් භාණ්ඩ නිර්මාණ ශිල්පියා රත් වීම සහ සිසිල් වීම පිළිබඳ සිත යොමු කරමින් මැදහත් ව තම ක්‍රියාදාමය කරයි. ඔහුගේ එම නිවැරදි ක්‍රියාදාමය හේතු කොටගෙන හෙතෙම සාර්ථක ප්‍රතිඵල ලබාගනියි. එම ශිල්පියා උඳුනට පිඹීම පමණක් කරයි නම් රන් කැබැල්ල උණු වී දැවී යයි. වතුර ඉසීම පමණක් කරයි නම් එය සිසිල් වී නිවී යයි. එසේ වුව ද ශිල්පියා විටින් විට උදුනට පිඹියි නම්, විටින් විට ජලය ඉසීම කරයි නම්, විටින් විට මැදිහත් ව ක්‍රියා කරයි නම් එම රන් කැබැල්ල මොළොක් වෙයි; ඉතා හොඳින් පිරිසිදු වෙයි; හොඳින් පදම් වන නිසා කැඩී නො යයි. එබැවින් වටිනා වූත්, සිත්ගන්නාසුලු වූත් රන් ආභරණ එම රන් කැබැල්ලෙන් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබෙයි. එයින් ඔහුට තමන් කැමැති ආභරණයක් නිපදවාගත හැකි ය.
රන් භාණ්ඩ නිර්මාණ ශිල්පියකු කටයුතු කරන අයුරින් භාවනා කිරීමට ඉදිරිපත් වන යෝගාවචරයා ද විටින් විට ‘සමාධි නිමිත්ත’ මෙනෙහි කරයි නම්, විටින් විට ‘ප්‍රග්ගහ නිමිත්ත’ මෙනෙහි කරයි නම් විටින් විට ‘උපේක්ඛා නිමිත්ත’ මෙනෙහි කරයි නම් එම යෝගාවචරයාගේ භාවනා සිත මොළොක් බවට පත් වෙයි; පිරිසිදු බවට පත් වේ; පැහැපත් බවට පත් වේ; ක්‍රියාශීලි බවට පත් වේ; නොවෙනස් වේ; සියලු ආශ්‍රවයන් ප්‍රහීන කිරීම පිණිස ම පවතියි. ඒ අයුරින් දියුණු කරන ලද සිත පංච අභිඥාවන් ලබාගැනීමට සුදුසු වේ ය යි බුදු හිමියෝ වදාළහ.
මහා කාරුණික බුදු හිමියන්ගේ මෙම පැහැදිලි කිරීමෙන් පෙන්වනු ලබන්නේ භාවනා කිරීමට අදහස් කරන අයකු විසින් නිතර සැලකිලිමත් විය යුතු, නිතර සිහි කළ යුතු, මෙනෙහි කළ යුතු උපකාරක ධර්ම තුනක් පිළිබඳ ව ය. මෙම කරුණු තුන පිළිබඳ අවබෝධයක් සැලකිල්ලක් නොමැති යෝගාවචරයකුට කිසි දිනක තමන් වඩන භාවනාව දියුණුවට පත් කරගැනීම අපහසු ය. බොහෝ දෙනෙක් මෙවැනි කරුණු අවධානයට නො ගනිති; කවුරුත් කරන නිසා භාවනා කරති. එයින් බොහෝ දෙනාගේ කය පමණක් තැන්පත් වෙයි; සංවර වෙයි. බොහෝ දෙනාගේ කය සිත දෙක ම සංවර නො වෙයි. සිතෙහි කයෙහි කිසිදු වෙනසක් සිදු නො වෙයි. මෙවැනි කරුණු පිළිබඳ අවධානයක් නොකර භාවනා කිරීමට උත්සුක වුව ද අවසානයෙහි සියල්ල අසාර්ථක බවට පත් ව, භාවනාව පිළිබඳ කලකිරීමට පත් වෙති. ඇතැම්හු මානසික රෝගීන් බවට පත් වෙති. එලෙස මානසික රෝගී බවට පත් වූ තරුණයන් කිහිප දෙනකු මෑතකදී දැකගැනීමට හැකි විය. කණගාටුව නම් එයින් එක් තරුණයකු මානසික රෝහලකදී සියදිවි නසාගැනීම යි. එය එක් නිදසුනක් පමණකි.
කාලේන කාලං සමාධි නිමිත්තං මනසිකාතබ්බං...’ යනුවෙන් සඳහන් පරිදි, කාලය පිළිබඳ සැලකිලිමත් වෙමින් සිත සමාධිගත කරගත යුතු ය. එය සමාධි නිමිත්ත වශයෙන් සලකනු ලබයි. භාවනා කිරීම සඳහා යොමු වන යෝගගාවචරයෝ දෙදෙනෙක් සිටිති. එනම් 1. වෙලාවට පමණක් භාවනා කරන යෝගාවචරයා සහ 2. නිතර ම භාවනාවෙහි යෙදී සිටින යෝගාවචරයා යනුවෙන් ය. ඇතැම් දෙනා ඉගෙනීම, ඉගැන්වීම, ධර්ම දේශනා කිරීම, ධර්ම සාකච්ඡා කිරීම, දහම් පොත්පත් ලිවීම, ගුවන්විදුලි රූපවාහිනී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡාවල යෙදීම, වෙනත් ජාතික ආගමික කටයුතුවල යෙදෙමින් විවේකයක් ලැබුණු විටකදී භාවනා ද කරති. ගිහි පින්වත්හු නම් රැකී රක්ෂාවල යෙදෙමින් වෙනත් බොහෝ කටයුතුවල යෙදෙමින් ඒ අතර විවේකයක් ලැබුණු විටක භාවනා කරති. ඇතැම් පැවිදි උතුමන් යෝගාශ්‍රමවල හෝ ආරණ්‍යවල නිරන්තරයෙන් බවුන් වඩන අතර, ඇතැම් අනගාරික ගිහි යෝගාවචරයෝ ද එවැනි ස්ථානවලට ගොස් භාවනාවෙහි යෙදෙති. එලෙස දවසෙහි වැඩි කාලයක් සමාධි නිමිත්ත වැඩිය හැකි වන්නේ ද වැඩි කාලයක් භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාට පමණකි.
නිරන්තරයෙන් බවුන් වඩන යෝගිවරුන් එදිනෙදා කළ යුතු සියලු කාර්යයන් සිහියෙන් යුක්ත ව ම කළ යුතු ය. අනෙක් කාලය තුළ පර්යංකයෙන් වාඩි වී එසේ නැත හොත් සක්මනෙහි යෙදෙමින්, මාරුවෙන් මාරුවට ඉරියව් පවත්වමින් සිත සමාධිගත කරගත යුතු ය. ආචාර්ය උපාධ්‍යාය වත් පිළිවෙත් කිරීමේදී සිහියෙන් යුතු ව ම එම කටයුතු කිරීම මගින් පර්යංක භාවනාවේදීත්, සක්මන් භාවනාවේදීත් සිත සමාධිගත කරගැනීමට පහසුවක් ලැබෙයි.
සමාධි නිමිත්ත යනු ඉතා ඕනෑකමින් නිතර භාවනාවේ යෙදෙමින් සිත එක්තැන් කරගැනීම යි. උදෑසනින් කළ යුතු වත්-පිළිවෙත් ආදිය කර තමන් වාසය කරන කාමරයට හෝ කුටියට ගොස් භාවනා කරමින් සමාධිය වඩමින් දිවා ආහාරය තෙක් සිටීම පෙරවරු භාවනාව යි. දිවා ආහාරයෙන් පසු සවස් කාලය තෙක් සමාධිය උපදවාගෙන සිටීම මධ්‍යාහ්න භාවනාව යි. සවස බුද්ධ වන්දනාවට පෙර ආචාර්ය උපාධ්‍යාය වත් සම්පූර්ණ කර, තම කුටියට හෝ කාමරයට ගොස් භාවනා කිරීම සවස් කාලයෙහි සමාධි භාවනාව වශයෙන් දැක්විය හැකි ය.
කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්චකුක්කුච්ඡ, විචිකිච්ඡා, ථීනමිද්ධ යන පංච නීවරණයෝ සමාධියට සතුරු ධර්මයෝ වෙති. නිතර භාවනාව අරමුණු කරගැනීම මගින් කරනු ලබන්නේ නීවරණවලට හිතට ඇතුළු වීමට ඉඩ නොදීම යි. මෙකල ඇතැම් දෙනා භාවනා කිරීම අත්හැරදමන්නේ එම නීවරණයන්ට පැරදීමෙන් නැත හොත් වසඟ වීමෙන් ය. සිත පස් කම් සැප වෙත දිවීම කාමච්ඡන්දය නමින් හඳුන්වනු ලැබේ. වෛරය, ක්‍රෝධය, තරහව වැනි ගැටෙන අරමුණු වෙත සිත දිවීම ව්‍යාපාදය යි. සිත මෙන් ම ගත ද භාවනාවට මැළි කරන අලස බව ථීනමිද්ධය යි. සිතෙහි විසිරුණු බව, කළ නොකළ පව් පින් පිළිබඳවත් භාවනාව පිළිබඳවත් සැක ඇති කරගැනීම විචිකිච්ඡාව වශයෙන් හැඳින්වේ. දීර්ඝ කාලයක් හොඳින් භාවනා අභ්‍යාසවල යෙදීම මගින් මෙම නීවරණ පලවා හැර, ජයග්‍රහණය ලැබිය හැකි ය. ඒ අයුරින් මනා වැටහීමකින් යුතු ව භාවනා කරන විට හදිසියෙන් හෝ නීවරණයක් හිතට ඇතුළු වූ විට එය දුරු කරගෙන භාවනා අරමුණෙහි ම මෙහෙයවීම මගින් සමාධි නිමිත්ත උපදවාගත හැකි ය.
බවුන් වඩන යෝගියා විසින් එම අරමුණ අතරමග නතර නොකර ඉදිරියට යෑම පිණිස කායික, මානසික වීර්යය හෙවත් ‘ප්‍රග්ගහ නිමිත්ත’ ගැන සැලකිලිමත් විය යුතු ය. ඇතැම් යෝගාවචරයෝ භාවනා කිරීම අත්හැරදමති. එසේ වන්නේ තමන් තුළ තිබිය යුතු අධිෂ්ඨාන බද්ධ වීර්යය ගැන අවධානය යොමු නොකරන නිසා ය. වීර්යය තුන් ආකාර බව ‘මනෝරථ පූරණියෙහි’ දක්වා ඇත. එනම් 1. නික්ඛම ධාතු: එනම් සිතෙහි ඇති සියලු කෙලෙස් දුරු කරගැනීමට තිබෙන අවශ්‍යතාව යි. 2. ආරම්භක ධාතු: එනම් භාවනාව මුලින් ආරම්භ කිරීමට තිබිය යුතු දැඩි අවශ්‍යතාව යි. 3. පරක්ඛම ධාතු: එනම් සිතෙහි සියලු කෙලෙස් බන්ධන නැති කිරීම යි.
මෙම වීර්යයන් ද කායික වීර්යය හා මානසික වීර්යය වශයෙන් දෙයාකාර වෙයි. දිවා රාත්‍රියෙහි ඉමහත් වීර්යයෙන් බවුන් වැඩීම කායික වීර්යය වශයෙන් සැලකෙයි. මම කෙසේ හෝ සියලු ආශ්‍රවයන්ගෙන් මිදෙමි යි යනුවෙන් දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම මානසික නොහොත් චෛතසික වීර්යය වශයෙන් සැලකෙයි. ථීනමිද්ධය හෙවත් කුසීතකම දුරු කරගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග හයක් ඇත. එනම් 1. පහසුවෙන් ඉරියවු පවත්වාගැනීමට හැකි පරිදි පමණ දැන ආහාර ගැනීම. එය හොඳ සෞඛ්‍ය පුරුද්දක් ද වෙයි. පමණට වඩා ආහාර ගත් විට ශාරීරික අපහසුතා ඇති වෙයි; නිදිමත ගතිය ඇති වෙයි.
එවිට භාවනා කිරීම පසෙකලා නිදාගැනීමට සිදු වෙයි. 2. යම් ඉරියවුවකින් සිටින විට කුසීතකමක් ඇති වුව හොත් එම ඉරියවුව වෙනස් කිරීම. 3. කුසීත කමක් ඇති වූ විට සඳු, හිරු, පහන් වැනි ආලෝකයක් මෙනෙහි කිරීම 4. එළිමහනෙහි වාසය කිරීම 5. කුසීතකම් දුරු කළ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම 6. යහපත් කතාබහ ශ්‍රවණය කිරීම. මෙම කරුණු මගින් ථීනමිද්ධය හෙවත් අලස බව දුරු කරගත හැකි ය. මේවා එදිනෙදා ජීවිතයේදී ද ලොකුª කුඩා කාටත් වැදගත් වන කරුණු බව දැක්විය හැකි ය.
පංච නීවරණ දුරු කරගනිමින් සිත කය කුසීත බවට පත් වන්නට ඉඩ නොදී තමන්ට ගැළපෙන, තම තත්ත්වයට ඔරොත්තු දෙන භාවනාවක් කිරීමත්, එයට ගැළපෙන ඉරියවු අනුව ඥානාන්විත ව, සම තත්ත්වයෙන් පවත්වාගැනීමත් ‘උපේක්ඛා නිමිත්ත’ වශයෙන් සැලකෙයි. මේ පිළිබඳ ව ‘විසුද්ධිමාර්ගයෙහි’ දැක්වෙන ‘ඉන්ද්‍රිය සමන්ත පටිපාදනය’ නමින් එන විස්තරය ඉතා වැදගත් වෙයි.

ඉන්ද්‍රියයන්ගේ සම තත්ත්වයට පත් වීම. එනම් ශ්‍රද්ධාව, වීර්යය, ස්මෘතිය, ප්‍රඥාව යන මේවා සම තත්ත්වයට පත් කරගැනීම යි. මේවා අතරින් එක් කරුණක් බලවත් වී, අනෙක් ඒවා දුර්වල වීම මගින් සිතෙහි සමතුලිත භාවය නැති වෙයි. බලවත් ශ්‍රද්ධාව තිබෙන, එහෙත් මඳ නුවණින් යුක්ත යෝගාවචරයා අඥාන අයුරින් පැහැදීමට පත් වෙයි. එලෙසින් ම බලවත් ප්‍රඥාව ඇති ව, ශ්‍රද්ධාව මඳ වශයෙන් තිබෙන විට සිතීමෙන් පමණක් කුසල් ඇති වේ; දන් දීම් ආදියෙන් ප්‍රයෝජනයක් නැත ආදි වශයෙන් කෛරාටික පක්ෂය ම භජනය කරයි. මේ අයුරින් සමාධි වීර්යය දෙක ම සම විය යුතු ය.
යම් කිසි පින්වතකු අනුත්තර වූ නිර්වාණය අවබෝධ කරගන්නා ක්‍රම කිහිපයක් ‘අංගුත්තර නිකායෙහි’ දක්වා ඇත. සිත අතිශයින් දැඩි වීර්යය හේතු කොටගෙන උඩ¼ගු බවට පත් වේ නම්, සිත කය දෙකෙහි ම දැඩි බව සංසිඳුවීමට ඉවහල් වන ‘සස්සද්ධි සම්බෝජ්ඣංගය’ වැඩිය යුතු ය. යෝගියාගේ සිත කුසීත බවට පත් ව හැකිළෙන්නේ නම්, ‘ධම්මවිචය’ සම්බොජ්ජංගය වැඩිය යුතු ය. යෝගියාගේ ප්‍රඥාව මඳ වී සිත නොසතුටු බවට පත් වී උකටලී බවට පත් වේ නම්, ජාති, ජරා, මරණ, අපාය ආදි අෂ්ට මහා සංවේග වස්තු පිළිබඳ මෙනෙහි කළ යුතු ය. යම් විටෙක සිත නිග්‍රහ කට යුතු වූ විට නිග්‍රහ කරයි නම්, උපේක්ෂාවෙන් බැලිය යුතු විට උපේක්ෂාවෙන් බලයි නම්, මාර්ග ඵල ම අරමුණු කොටගෙන කටයුතු කරයි නම්, නිවන අරමුණු කොටගෙන ම ක්‍රියා කරයි නම් හෙතෙම නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරයි.
ඉහත සඳහන් අයුරින් සමාධි නිමිත්ත මෙනෙහි කිරීම, ප්‍රග්ගහ නිමිත්ත මෙනෙහි කිරීම, උපේක්ඛා නිමිත්ත මෙනෙහි කිරීම යන වැදගත් කරුණු තුන පිළිබඳ නිතර සිහියෙහි තබාගෙන භාවනා කරන යෝගියාට තමන් බලාපොරොත්තු වන උතුම් ඵලය වූ අර්හත් ඵලය ලබාගැනීමට හැකියාව ලැබෙයි. ඒ අනුව කටයුතු කර, ඔබත් නිර්වාණාවබෝධය අත් කරගැනීමට අදිටන් කරගන්නේ නම් එය බුදු රජාණන් වහන්සේට දක්වන උතුම්ම පූජාව බවට පත් වේ. ද


0 comments:

Post a Comment

මාගේ දිවියම විද්‍යාව වෙනුවෙන් කැප කල මා යමක් ලබා ගත්තේ නම් ලබාගත්තේ බුදු දහමින් පමණි.

මාගේ දිවියම විද්‍යාව වෙනුවෙන් කැප කල මා යමක් ලබා ගත්තේ නම් ලබාගත්තේ බුදු දහමින් පමණි.

පිටුවට සම්බන්ද වූ සාමාජිකයන්