ගෞතම බුද්ධ ශාසනයේ සුවිශේෂ ස්ථානයක් භජනය කරන ආර්ය ශ්‍රාවකයන් වහන්සේ අතර ධර්මභාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් වහන්සේට හිමි වනුයේ අතිසුවිශේෂ ස්ථානයකි. මේ ලිපිය බුද්ධ උපස්ථායක වූ ද, තවත් අග්‍රස්ථාන සතරකින් ම සම්මානිත වූ ද ඒ ආනන්ද මහ රහතන් වහන්සේ පිළිබඳ ව ය.
ආනන්ද මහතෙරුන් වහන්සේ සසර බොහෝ කලක් බෝසතුන් සමග එක් ව හැසිර දෙදෙනා ම ඔවුනොවුන්ට හිතවත් ව ඇතැම් භවයක මිත්‍රයින් ව ද ඇතැම් භවයක සොහොයුරන් ව ද ඇතැම් භවයක ගුරු-සිසුන් ව ද විසීම නිසා දැඩි වශයෙන් තථාගතයන් වහන්සේ කෙරෙහි හිතවත් වූ මේ භවයේදී තථාගතයන් වහන්සේගේ ගිහි ජීවිතයේ සහලේ ඤාතියකු වීමෙන් වඩාත් ගරු කටයුතු පුද්ගලයෙක් වූ සේක;එහෙයින් ම සෑම විටක ම තථාගතයන් වහන්සේ කෙරෙහි විශේෂ ගෞරවයක් හා ආදරයක් ඇති ව විසූ හ.තථාගත ශ්‍රාවකයන් අතර සම්බුදුරදුන් හා සමාන වයස් ඇති ව විසූ එක ම ශ්‍රාවකයන් වහන්සේ ද ආනන්ද තෙරහු ම වූ හ (බෝසතුන් සමග එකදා උපන් හෙයිනි).
බුද්ධ ශ්‍රවකයන් අතර තනතුරු පහක් ලැබූ උතුමාණෝ ද ආනන්ද හිමියෝ ම වෙති.
“ඒතදග්ග,භික්ඛවේ මම සාවකානං භික්ඛුනං බහුස්සුතානං යදිදං ආනන්දෝ,සතිමත්තානං යදිදං ආනන්දෝ ගතිමත්තානං යදිදං ආනන්දෝ, ධිතිමත්තානං යදිදං ආනන්දෝ උපට්ඨාකානං යදිදං ආනන්දෝ...”
“මහණෙනි, මගේ ශ්‍රාවක බහුශ්‍රැත භික්‍ෂූන් අතුරෙන් ආනÁද තෙර අග්‍ර ය. ස්මෘතිමත් (මනා සිහි ඇති භික්‍ෂූන් අතුරෙන් ආනÁද තෙර අග්‍ර ය. මහා ඤාණ ගති ඇති භික්‍ෂූන් අතුරෙන් ආනÁද තෙර අග්‍ර ය. ධෘතිමත් (ධෛර්ය සම්පන්න) භික්‍ෂූන් අතුරෙන් ආනÁද තෙර අග්‍ර ය. උපස්ථායක භික්‍ෂුන් අතුරෙන් ආනÁද තෙර අග්‍ර ය”යනු මෙහි භාවාර්ථ යි.
බහුශ්‍රැත යනු බොහෝ ඇසූ-පිරූ තැන් ඇති බව යි; එනම් බොහෝ දේ අසා දැනගැනීමෙන් පිරුණු බව යි. ප්‍රධාන වශයෙන් බහුශ්‍රැතයා නම් ධර්මවිනය ගැන දැනීම ඇති උසස් ම ධර්මධරයා යි. බුද්ධ ශ්‍රාවකයන් අතර සාරිපුත්ත-මොග්ගල්ලාන, මහා කාශ්‍යප, අනුරුද්ධ, පුණ්ණ ආදි ශ්‍රාවකයෝ ද බහුශ්‍රැතයෝ ම වූ හ. එසේ කල ආනÁද තෙරුන් ම බහුශ්‍රැතයන් අතර ප්‍රධානත්වයෙහි තැබුවේ කුමක් නිසා දැ යි සිතිය යුතු යි. ආනÁද හිමියන් බුද්ධ වචනය උගන්නා කල්හි තථාගත ශාසනයෙහි “ධර්ම භාණ්ඩාගාරික පර්ය්‍යාප්තියෙහි” සිට එය ප්‍රගුණ කළ හෙයින් ආනÁද හිමියෝ ම බහුශ්‍රැත භික්‍ෂූන් අතර අග්‍ර වූ හ. ආනÁද හිමියෝ නවාංගශාස්තෘ ශාසනය මනා සේ ප්‍රගුණ කළහ (සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධර්ම, වේදල්ල යනු නවාංගශාස්තෘ වචනය යි).
විනය පිටකයෙහි භික්‍ෂු- භික්‍ෂුණි ප්‍රාතිමෝක්‍ෂ දෙක හා නිදේදස ඛන්‍ධක පරිවාර යන මේ ධර්ම කලාප ද, සූත්‍ර නිපාතයේ මංගල සූත්‍ර, රතන සූත්‍ර, නාලක සූත්‍ර, තුවටක සූත්‍ර යන මේවා ද සූත්‍ර නමින් යුත් වෙනත් දේශනා ද යන සියල්ල එක් කොට “සූත්‍ර” යයි කියනු ලැබේ.
එසේ ම සියලු ගාථා සහිත සූත්‍ර සමූහය විශේෂයෙන් සංයුත් සඟියෙහි සියලු සගාථක වර්ගය (ගාථා සහිත සූත්‍ර දේශනා) ‘ගෙය්‍ය’ නම් වේ. සම්පූර්ණ අභිධර්ම පිටකය හා ගාථා රහිත (ගාථා නැති) සූත්‍ර සමූහය මේ සියල්ල ‘වෙය්‍යාකරණ’ නම් වේ.
ධම්මපද,ථේර ගාථා,ථේරි ගාථා යන ධර්ම කොට්ඨාස ද සූත්‍ර නිපාතයේ ඇතුළත් සූත්‍ර නමින් තොර වූ සුද්ධ ගාථා දේශනා ද ‘ගාථා’ නම් වේ.
තථාගතයන් වහන්සේ විසින් යම් යම් තැන්වලදී උදාන වශයෙන් (පී‍්‍රතිවාක්‍ය වශයෙන්) වදාළ දේශනා සියල්ල ‘උදාන’ නම් වේ. ‘අනේක ජාති සංසාරං’ යනාදි ප්‍රථම බුද්ධ වචනය හා වෙනත් එවැනි දේශනා සොම්නස් සහගත මහා ඥානයෙන් උපන් නිරාමිෂ උත්තම පී‍්‍රතිය ප්‍රකාශ කිරීම් වශයෙන් වදාළ අසූ දෙකක් සූත්‍ර දේශනා සියල්ල ‘උදාන’ සඞ්ඛ්‍යාවට ඇතුළත් වේ.
“වුත්තං හේතං භගවතා චුත්ත මරහතා” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද සියලු දේශනාවෝ ‘ඉතිවුත්තක’ නම් වෙති.
අපණ්ණක ජාතකය ආදි කොට වෙස්සන්තර ජාතකය අවසන් කොට ඇති පන්සිය පනස් ජාතක දේශනාවෝ ‘ජාතක’ නම් වෙත්.
තව ද එසේ ම ආශ්චර්ය අද්භූත ධර්මයන්ගෙන් යුක්ත වූ අච්ඡරිය-අද්භූත සූත්‍රාදි දේශනාවෝ ‘අද්භූත’ධර්ම වෙත්.
චුල්ලවේදල්ල,මහාවේදල්ල,සම්මා දිට්ඨි,සක්කපඤ්හ,සංඛාර භාජනිය,පුණ්ණම සුත්ත ආදි නම්වලින් දැක්වෙන දේශනාවෝ ‘වේදල්ල ධර්ම’ නම් වෙත්.
මේ දැක්වූ ‘නවාංග ශාස්තෘ වචනය’ ඉගැනීමේදී ආනÁද හිමියෝ පාලි ධර්මයෙහි අර්ථ මැනවින් උගත්හ; නිරුක්තිය (ව්‍යාකරණය) ද අකුරුවල ඇති වෙනත් අර්ථ හා ගැළපීම් ද දැනගත්හ; පරස්පර විරෝධ නොවන ලෙසින් දැනගත්හ; ධර්ම පාඨයන්හි මතු අර්ථය හා යට අර්ථය ද, මුල මැද හා කෙළවර ඇති අර්ථ ද ඒ තුන් තැනෙහි අර්ථයන්ගේ ගැළපීම් ද යට අර්ථයාගේ හා මතු අර්ථයාගේ ගැළපීම් ද මනා සේ ප්‍රගුණ කළහ. මේ නිසා ආනන්ද හිමියෝ බහුශ්‍රැත භික්‍ෂූන් අතර අග්‍ර වූ හ.
තව ද ආනන්ද හිමියන්ට තථාගතයන් වහන්සේ නොවදාළ ධර්මයක් නැත.විශේෂයෙන් ගිරිමානන්ද සූත්‍ර; මිගසාල සූත්‍ර, සුසීම සූත්‍ර, මාලුඞ්ක්‍ය සූත්‍ර, අන්‍ධකවිÁද සූත්‍ර, බග්ගවිසාණ සූත්‍ර, මහා නිදාන සූත්‍ර, මහා සුදස්සන සූත්‍ර, පරිනිර්වාණ සූත්‍ර,යනාදි සූත්‍රයෝ ආනන්ද හිමියන්ට ම තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ඒවා වෙත්. ජාතක දේශනා අතුරෙන් ද මහාසාර ජාතක,මහා අශ්වාරෝහක ජාතක,නානාච්ඡන්ද ජාතක,මහාසුදස්සන ජාතක, පලාස පුණ්හ යනාදි ජාතක දේශනා ද ආනන්ද හිමියන්ට ම දේශනා කළ ජාතකයෝ වෙති.
තව ද සුභ සූත්‍ර, ගොපක මොග්ගල්ලාන සූත්‍ර, නිගණ්ඨ සූත්‍ර ආදි සූත්‍ර දේශනාවෝ ද ථේර ගාථාවෙහි බොහෝ ගාථා ද ආනන්ද ථේරාපදානය ද ආනන්ද හිමියන් විසින් ම වදාළ ධර්ම දේශනාවෝ ය. මෙසේ භාණ්ඩාගාරික පර්ය්‍යාප්තියේ සිට නවාංගශාස්තෘ වචනය උගත් හෙයින් ද අර්ථ ව්‍යඤ්ජන මනා සේ ප්‍රගුණ කළ හෙයින් ද බොහෝ දේශනාවන් තමන් වහන්සේ ම වදාළ හෙයින් ද ආනන්ද හිමියෝ බහුශ්‍රැතයන් අතර අග්‍ර වූ හ.
තව ද ආනන්ද හිමියෝ බුදුරදුන්ගෙන් ශ්‍රවණය කළ ධර්මය එපරිද්දෙන් ම පුහුණු කොට ධර්මයෙහි මසුරුකමක් නොමැති ව ඒ ධර්මය සවිස්තර ලෙසින් අන්‍යයන්ට ද ප්‍රගුණ කරවන්නා හ: එසේ ම උගත් ධර්මය හා ප්‍රකාශ කළ ධර්මය ද පුහුණු කළ ධර්මය ද පිළිබඳ ව නැවත නැවත මෙනෙහි කරමින් අර්ථ හා ව්‍යඤ්ජන පද වශයෙන් නැවත නැවත තර්ක කරමින් සිතින් විචාරමින් වැඩිදුරටත් ප්‍රගුණ කළහ;
තව ද ආනන්ද හිමියෝ ධර්මධර,සූත්‍ර ධර,විනයධර මහ තෙරවරුන් සිටිනා ආරාමයක් ම ඇසුරුකොට වස් එළඹ ඒ ධර්ම විනයධර බහුශ්‍රැත තෙරවරුන්ගෙන් ද “ස්වාමීනි, මේ පාලි පාඨයේ අදහස කුමක් ද? ගැළපීම කෙසේ ද? අනුසන්ධිය (එකිනෙක ගැළපීම) කෙසේ ද?”ආදීන් විචාරා සැක දුරු කොට තවතවත් දැනීම දියුණු කරගත්හ. මේ නිසා ද බහුශ්‍රැත භික්‍ෂූන් අතර අග්‍ර වූ හ.
තව ද ආනන්ද හිමියෝ මනා සිහි ඇති භික්‍ෂූන්ගෙන් ද අග්‍ර වූ හ.තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය රන් බඳුනක වත් කළ සිංහතෙල් මෙන් නොනැසී අමතක නොවී දරාගැනීමෙහි සමත් ධාරණ ශක්තිය සිහි බුද්ධිය වෙනත් කිසිම භික්‍ෂුවක් කෙරෙහි පිහිටියේ නැත.එනිසා ප්‍රථම ධර්ම සංගායනාවේදී ආනන්ද හිමියන් දැක්වූ ධාරණ ශක්තිය අද්භූත ය.තථාගතයන් වහන්සේ වදාළ සියලු ධර්මය ඉස්පිල්ලක් පාපිල්ලක් නොහැර සිහියේ තබාගෙන ධාරණය කරගෙන සිටි හෙයින් ම ත්‍රිපිටක බුද්ධ වචනය පිරිසිදු ව සඞ්ගායනා කිරීමට හැකි විය. මේ නිසා ආනන්ද හිමියෝ ස්මෘති සම්පන්න භික්‍ෂූන් අතර අග්‍ර වූ හ.
තව ද,ආනන්ද හිමියෝ ඤාණ ගති ඇති භික්‍ෂූන් අතර ද අග්‍ර වූ හ.මෙහි ඤාණ ගති යනු ධර්ම-විනය දෙක ඉගෙනීමට සමත් ඥානය යි.ආනන්ද හිමියෝ හිටි අඩියේ ම ගාථා දස දහසක් හෝ පහළොස් දහසක් පමණ එකවර වණ පොත් කිරීමෙහි ද දරාගැනීමෙහි ද සමත් ඤාණයෙන් සමන්විත වූ හ.
තව ද ආනන්ද හිමියෝ ධෛර්යවත් භික්‍ෂූන් අතර ද ප්‍රධාන වූ හ.උන් වහන්සේ තථාගත වචනය ඉගැනීමේදී ද දරාගැනීමේදී ද සජ්ඣායනා (පාඩම් කළ දෙය අමතක නොවනු පිණිස නැවත නැවත කීමෙහිදී)කිරීමෙහිදී ද ධර්ම දේශනා කිරීමේදී හා උගැන්වීමෙහිදී ද කිසිදු මැළි බවක් හෝ උදාසීන බවක් නො දැක්වූ හ.එපමණක් ද නො ව, තථාගතයන් වහන්සේට උපස්ථාන කිරීමේදී ද දැක්වූ වීර්යය ද ආශ්චර්ය ය. මේ නිසා ආනන්ද හිමියෝ ධර්මය පිළිබඳ උග්ගහණ වීර්යය, ධාරණ වීර්යය, සජ්ඣායනා වීර්යය, හා තථාගත උපස්ථානය පිළිබඳ වීර්යය යන වීර්යයන්ගෙන් යුක්ත වූ හෙයින් ධෘති සම්පන්න භික්‍ෂූන් අතර ද අග්‍ර වූ හ.
තව ද මේ ආනන්ද හිමියෝ තථාගතයන් වහන්සේගේ උපස්ථායක භික්‍ෂූන් අතර ද අග්‍ර වූ හ.වරින් වර තථාගතයන් වහන්සේට උපස්ථාන කළ භික්‍ෂූන් සිටිය ද ආනන්ද හිමියන් මෙන් නියම උපස්ථායක පිළිවෙතෙහි පිහිටා සම්බුදු රදුන්ගේ සිත ද දිනාගෙන බොහෝ කල් උවැටැන් කළාහු ආනන්ද හිමියෝ ම ය.
උපුටා ගැනීම - www.namaskara.lk
0 comments:
Post a Comment