කරුමෙයි වාසනාවයි

මෙයින් කර්මය හා කර්ම විපාක සරු ලෙස පැහැදිලි කැරෙයි.

‘කර්මය’ යන සංස්කෘත වචනය ව්‍යවහාරික පහසුව පිණිස ‘කරුමය’ ලෙස තත්භව ක්‍රමයට සකසාගත්තාක් මෙන්, බැලූ බැල්මට පෙනෙතත්, ව්‍යවහාර වන අන්දම දෙස බලන කල ‘කරුමය’බෙහෙවින් වෙනස් අර්ථයක යෙදෙන වචනයකි.ඒ අනුව ‘කර්මය’යනු,‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි’යන බුදු වදනේ සඳහන් කර්මය වේ. එය වෙනත් වචනවලින් කියතොත්, ඉන්ද්‍රිය සය මඟින් සිතට යොමු වන අරමුණු,කය මෙහෙයවා ක්‍රියාවට නැංවීම ය. චේතනා යන වචනය එම සියලු වැඩපිළිවෙළ සඳහා ව්‍යවහාර වන්නකි. ‘කර්ම’ සිදු කළ විට ඒ වේලේ ම නොහොත් ඊට පසු කවර හෝ අවස්ථාවක විපාක විඳින්නට සිදු වේ.
කර්ම වනාහි පින්,කුසල් වශයෙන් ද පව්,අකුසල් වශයෙන් ද දෙවර්ගයකට බෙදා දැක්වේ.මෙයින් ‘පව්-අකුසල්’ ගොඩට වැටෙන කර්ම සඳහා විඳින්නට සිදු වන දුක් විපාක ‘කරුම’ ලෙසින් ද, පින් – කුසල් ගොඩට වැටෙන කර්ම සඳහා විඳින්නට සිදු වන සැප විපාක ‘වාසනාව’ ලෙසින් ද ව්‍යවහාර වන බව පෙනේ.
 පාප-අකුසල කර්ම විපාක විඳින විට ‘ඒක එයාගෙ කරුමේ’ කියා ද, පින්කුසල් සඳහා විපාක විඳින විට, ඒක එයාගෙ වාසනාව, කියා ද කීමෙන් ඒ බව පසක් වේ.රටකට, සමාජයකට විවිධ හේතු නිසා, වරින් වර යුද්ධ, ඍතු විපර්යාස, සාගත, වසංගත වැනි විපත් පැමිණේ. එබඳු අවස්ථාවල ඇතැමෙක් නොසිතූ ලෙස ඒවායින් ගැලවෙති. ඉන් පෙනෙන්නේ පින් – කුසල් කර ඇති අය, (වෙනත් අතීත කරුමයක් නැති නම්) වාසනාවන්ත වනවා පමණක් නො ව, පොදු විපත්වලින් ද ගැලවෙන බව නො වේ ද?
එක් එක් පුද්ගලයා උපතින් ම උරුම කරගෙන එන ලෙඩ රෝග ඇත. බලාපොරොත්තු කඩ වීම්, තම සේවය යට කර ඉහළ නිලධරයන් එහි ප්‍රතිඵල භුක්ති විඳීම්,තම ඉදිරි ගමනට විවිධ බාධා ඇති කිරීම් වැනි අමිහිරි අත්දැකීම් අප කාටත් ඇත. එබඳු අවස්ථාවල බොහෝ අය, “මේවා අසවල් අයගේ වැඩ” කියා අනුන් පිට වරද පටවති; එමඟින් තම සිතේ දුක් වේදනා තවත් වැඩි කරගනිති; එපමණක් නො ව, විශාල සතුරු පිරිසක් ද ඇති කරගනිති; ඔවුන්ගෙන් පළි ගැනීමට යෑම වැනි වැරදි කරති; මෙසේ තම පෙර ‘කරුම’ නොපිළිගෙන ක්‍රියා කර තව තවත් පාප කර්ම,අකුසල කර්ම සිදු කරගනිති;භවයෙන් භවයට පිරිහීම ම වැඩි කරගනිති.කරුම – දිග්ගස්සාගනිති.
පුහුදුන් අයට පමණක් නො ව බුදුන්, අග සව්වන්, රහතුන් වැනි, සියලු කෙලෙස් නැසූ උතුමන්ට ද ‘කරුම’ පල දී ඇත. ‘කර්ම – නියාම ධර්ම’ නඩුකාරයාට ඒ කවරකුගේ වත් ලොකුවක් පෙනුණේ නැත.
කර්ම නියාම ධර්මය නොබා මෙසේ කර්ම නඩුවල තීන්දු දෙන්නේ කවර වුවමනාවක් සඳහා ද? යන්න හොඳින් වටහාගත යුතු ය. සොබා දහමට වුවමනා කරන්නේ, සත්ත්වයා සසරෙහි රඳවා තබාගැනීමට ය. එයට ආධාර වන්නේ පින් සහ පව් ය. සොබා දහමින් ඒ දෙකට අනුබල ලැබේ. කවරකු හෝ සොබා දහම ගැන නොතකා, කුසල් කර සසරින් එතෙර වීමට උත්සාහ කරන විට සොබා දහම එයට විවිධ බාධා පමුණුවයි.
දරුණු දස මර සෙනඟක් හෙවත් කෙලෙස් දහයක් ඉදිරිපත් කර (1. කාමය, 2. අරතිය, 3.සා පිපාසාව, 4. තෘෂ්ණාව, 5. ථින මිද්ධය, 6. බිය, 7. සැකය, 8. ගුණමකු බව හා දැඩි බව, 9. වැරදි මඟින් ලබන යසස, 10. තමන් උසස් කොට අනුන් පහත් කොට සිතීම) සිතේ සටනක් අවුළුවයි. මේ නිසා සියලු කෙලෙසුන් පරාජය කරන්නට තරම් ධීර, වීර, අධිෂ්ඨාන පූර්වක මහා පුරුෂයන් පමණක් සසර ගමන නවතාගනිතත්, පිරිනිවන් පානා තුරු ම කර්ම නියාම ධර්මය ඔවුන් පසු පස හඹා යෑම නො නවත්වයි. (හඹා යෑමක් ලෙස කීවත් මෙය ඉබේ සිදු වන්නකි. සොබා දහම ය කියන්නේ ‘ඉබේ සිදු වීම’ මිස අනෙකක් නො වේ).
කරුමය හා වාසනාව - යන කරුණු දෙක වඩා හොඳින් වටහාගන්නට නම්; පින්, පව්, කුසල්, අකුසල් යන මාතෘකා යටතේ කර්ම බෙදා ඇති අන්දම වටහාගත යුතු ය.ඒ ගැන මඳ පැහැදිලි කිරීමකි,මේ.සත්ත්ව ලෝකයේ ඇසට නොපෙනෙන තරම් කුඩා සතුන්ගේ සිට මහා දැවැන්තයන් දක්වා, හැම සතකුට ම සොබා දහම දක්වන්නේ සමාන සැලකිලි ය.එබැවින් ඒ කවර හෝ සතකුට තමන් අතින් යම් හිංසාවක්, පීඩාවක්, මරණයක් සිදු වුණොත්,ඒ පවේ,අකුසලයේ, දුක් විපාක, සුදුසු අවස්්ථාව බලා විඳුවන පිණිස සුදුසු වැඩ පිළිවෙළ සකසා තැබීම,‘කර්ම නියාම ධර්මයේ’ වගකීම වෙයි. ඒ අනුව තමන් විසින් සිදු කරන ලද වරද, තමන් වෙත ද ආපසු ලැබෙන්නට සැලසෙයි.සාංසාරික විඤ්ඤාණ ධාරාව විසින් සත්ත්වයා ඒ ඒ භවවලදී මෙසේ කරන ලද පාප කර්ම සඳහා විඳිය යුතු කර්ම විපාක රැස් කරගෙන එනු ලැබේ. සුදුසු අවස්්ථාව බලා ඒවා ඉදිරිපත් කැරේ. එවිට ‘දතට දතක්’ යන න්‍යායයට අනු ව තමන්ට ද ‘කරුම’ ‘දුක්’ විඳින්නට සිදු වෙයි.
කවර හෝ සතකුගේ අවශ්‍යතා බලා හැඳිනගෙන, ඒ ඒ සත්ත්වයාට සතුට උපදවන ලෙස අවශ්‍ය දෑ පරිත්‍යාග කිරීම, උපකාර කිරීම, ආරක්‍ෂාව සැලසීම වැනි යහපත් ක්‍රියා කළ විට, ඒ සඳහා සිතේ කරුණාව හා මෛත්‍රිය පුරවාගත් විට, ඒවායේ පුණ්‍ය - කුසල විපාක ද සාංසාරික විඤ්ඤාණ ධාරාව විසින් රැස් කරනු ලැබ නිසි අවස්ථා එළඹි විට ඉදිරිපත් කැරේ. එවිට තමන්ට ද ‘සිනාවට සිනාවක්’ යන න්‍යායයෙන් සැප විඳින වාසනාව උදා වෙයි. කර්ම නියාම ධර්මයේ හැටි එහෙම යි.
‘පින් – පව්’ දෙක අනුව ‘වාසනාව සහ කරුම’ විඳින පුද්ගලයා එ මඟින් සංසාර ගමන දිග්ගස්සාගනී. තමන්ට ඉඳ හිට සැප, වාසනා, උදා වෙතත්, බහුල වශයෙන් විඳින්නට සිදු වන්නේ – කරුම දුක් බව වටහාගන්නට, සෑහෙන්නට දියුණු වූ නුවණක් අවශ්‍ය වේ. ඒ බව වැටහුණු අයකුට, සසර ගමන නවතාදමන්නට, නිවන පසක් කරන්නට බලවත් කැමැත්ත හා නොපසුබට උත්සාහය උදා කරගත හැකි වේ. එමඟින් කරුම හා වාසනා අලුතින් හට ගැනීම නවතාගත හැකි වේ. එවිට භව ගමන නතර වේ. සදා සැනසුම ‘නිවන’ ලද හැකි වේ.
ඒ සඳහා තැබිය යුතු පියවර කීපයකි මේ:දහම් පොත්පත් කියවීම,ඒවායේ ඇතුළත් කරුණු විමසා බැලීම, ධර්මධරයන් සමඟ සාකච්ඡා පැවැත්වීම වැනි මාර්ගවලින් ධර්මඥානය (සුත ධනය) වඩාගත යුතුªය. භාවනා මඟින් සිත මේච්චල් කරගත යුතු ය.කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් අන්දමට සියලු සතුන් වෙත නොනිඳා ගත කරන මුළු කාලය පුරා මෛත්‍රිය පැතිරවිය යුතු ය.මේ සියලු උත්සාහයේ ප්‍රතිඵල ඉක්මනින් බලාපොරොත්තු නොවී හෙමින් හෙමින් ළඟා කරගත යුතු ය.
තව ද,මෙකල ලෝක ජනතාව විසින් කරනු ලබන බලවත් වැරැදි හැඳිනගෙන ඒවායින් ගැලවෙන්නට වගබලාගත යුතු ය.ඉන් බලවත් ම වරදක් වන්නේ ‘මිනිසා සත්ත්ව ලෝකයේ අධිපතියා ය.ලොව එක ම උරුමක්කාරයා ය’කියා සිතාගෙන මිනිසුන් හැර අන් ඕනෑ ම සතකු අනවශ්‍ය නම් වනසාදැමීමට නොපැකිළීම ය. මිනිසකු අතින් සිදු වන පාප කර්ම හේතුවෙන් ඔහුට ඕනෑ ම සතකු ලෙස ඊළඟ භවයේ උපදින්නට සිදු වන බව දන්නේ නම් ඔහු පව් නො කරති. සතකු මරාදමන විට, තම අතින් මිය යන්නේ අතීත භවයක මිය ගිය තම පියා නොහොත් මව විය හැකි ය.
එහෙත් මෙකල මෙබඳු දහම්,හිස් ප්‍රලාප ලෙස සලකා පවෙහි ම ගැලෙන්නෝ බොහෝ ය. ඔහු සසර ගමනේදී පාවිච්චිය පිණිස දුක් අටු පුරවති;තමන්ට මෙලොවදී විඳීමට සිදු වන සියලු ව්‍යසන අන්‍යයන්ගේ වරදින් සිදු වන සේ සලකා ‘අයිතිවාසිකම්,වැඩි දීමනා’ ඉල්ලා පෙළපාළි යති; සටන් වදිති. මේ තත්ත්වය ද සොබාදහමේ නීතිය අනු ව ම සිදු වන්නකි.මේ ගෙවෙමින් පවතින කලියුගයේ ධර්මය වනගත වන බව නිශ්චිත කරුණකි. දැන් එය සිදු වෙමින් පවතින බව ප්‍රකට බැවින් නුවණැත්තෝ - පාප උගුලෙන් ගැලවෙන මං සොයත් වා!

මදුරසිංහ ගුණතිලක

0 comments:

Post a Comment

මාගේ දිවියම විද්‍යාව වෙනුවෙන් කැප කල මා යමක් ලබා ගත්තේ නම් ලබාගත්තේ බුදු දහමින් පමණි.

මාගේ දිවියම විද්‍යාව වෙනුවෙන් කැප කල මා යමක් ලබා ගත්තේ නම් ලබාගත්තේ බුදු දහමින් පමණි.

පිටුවට සම්බන්ද වූ සාමාජිකයන්