අප දන්නා කාලයේ සිට වෙන කවරදාටත් වඩා ධර්මය ගැන කතාබස් කිරීමේ උනන්දුවක් වර්තමානයේ පවතින බව පැහැදිලි ව පෙනෙන කරුණකි. එය යහපත් නිමිත්තක් ලෙස සැළකිය හැකිය.
එහෙත් තමා විසින් සොයමින් සිටින, කතාබස් කරමින් සිටින ඒ ධර්මය කුමක්දැ’යි තමාට ව ත් නිරවුල් ලෙස තෝරා බේරා ගැනීමේ හැකියාවක් බොහෝ දෙනෙකු තුළ තිබේ ද යනු සැක සහිත ය. එයට හේතුව සද්ධර්මයේ නාමයෙන් විවිධ මතිමතාන්තර, වාද විවාද වලින් සංකීර්ණ වූ පරිසරයක් තිබීම යි.
සමහරුන් ධර්මය හැටියට පවසන්නේ පුදුමාකාර දේවල් ය. කා-බී, හැඳ-පැළඳ ජීවත් වීම උදෙසා ම පමණක් ධර්මය කතා කළ යුතු බව කියයි. මෙලොව හා පරලොව දෙක්හිම සුරක්ෂිත භාවය පිණිස මේ ජීවිතය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමේ වටිනාකමක් ඔවුහු නොදකිති. එය මහත් අවාසනාවකි. එබඳු පිරිස ගෙන් ධර්මය ඇසීම තුළ ධර්මයෙන් ඵල නෙළාගත නොහැකි ය. එබඳු ධර්මයක් අසා අන්ධබාල පෘථග්ජන භාවයෙන් නම් මේ ජීවිතය කිසිදිනක නිදහස් කරගත නොහැකි ය. එහෙත් නිතිපතා ධර්මයේ ගුණ පාළියෙන් කියන ඔබ එහි තේරුම් ඉගෙන ගෙන තිබේද?

ධර්මය වනාහී මේ ජීවිතයේදී අවබෝධ කළ නොහැකි දෙයක් නම් බුදුවරුන්ගේ පහළවීමෙන්, සද්ධර්මය දේශනා කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? යම් හෙයකින් මේ ජීවිතයේ දී ධර්මය අවබෝධ නොකළ හැකි නම් කිසිදාක රහතන් වහන්සේලා, මාර්ගඵල ලාභීන් පහළ විය නොහැකි ය. එහෙත් ෙඒතිහාසික ව කෝටිවාරයකට ත් වඩා ඔප්පු වී තිබෙන සත්‍යය එය නොවේ. මේ ජීවිතයේ දී ම අරහත්වය සාක්ෂාත් කළ උතුමෝ අපමණවත් සිටියහ. මාර්ගඵල ලාභීහු අපමණවත් සිටියහ. දැනුදු මේ සද්ධර්ම මාර්ගයේ අල්ප මාත්‍ර අඩුපාඩුවක් නැත. ඒ ගැන කිසිසේත් සැක උපදවා ගත යුතු නැත. මේ සද්ධර්මය ඉරහඳට ත් වඩා ප්‍රභාස්වර යත ජීවමාන ය; ඔව්! ජීවමාන ය!
ඉතින් මේ ජීවමාන ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් වදාළ විධි නොපිරිහෙළා අනුගමනය කරත් නම්, අද ද ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ හැකි ය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් ජීවිතය අවබෝධ කිරීම නම් වූ එහි ඵල නෙළා ගත හැකි බව ඒකාන්ත සත්‍යයෙකි.
සැදැහැති ශ්‍රාවකයින් ඊනියා ධර්ම විවරණ වලින් අහේතුක පසුබෑමක් ඇති කර නොගත යුතුය. සැක නොකළ යුතුය. ගිහි ජීවිතයේ දී මාර්ගඵල ලැබිය හැකිද යනු සමහරුන් අසන බොළඳ ප්‍රශ්නයකි. ගිහි ජීවිතයේ මාර්ගඵල නොලැබිය හැකි නම්, කිසිදාක නොලැබිය හැකි ය. එහෙත් ගිහි ජීවිතය තුළ ආර්ය මාර්ගය පුරුදු පුහුණු කොට එහි ඵල නෙළා ගත් අපමණ ගිහි පිරිස් වූහ. පැවිද්දන් ගැන කවර කථාද?
මාර්ගය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. සතර සතිපට්ඨානය ඔස්සේ ඒ මාර්ගය අනුගමනය කළ යුතු යි. ඵලය යනු ඒ මාර්ගය අනුගමනය කිරීම තුළින් තමා තුළ ඇති වන ජීවිතාවබෝධය නිසා සංයෝජන ධර්මයන් ප්‍රහීන වීම යි. එය තනිකර ම අවබෝධයක් තුළින් ඇති විය යුතු දෙයකි. ‘මට අසවල් මාර්ගය – ඵලය පහළ වේවා!’ “මට අසවල් ඤාණ පහළ වේවා’යි අධිෂ්ඨාන කරමින් මායාකාරී සිතේ මායාවන්ට හසු වීම මුළාවේ ම කොටසක් මිස වෙන දෙයක් නොවේ. සමහරුන් පෙන්වා දෙන පිළිවෙලට එසේ අධිෂ්ඨාන බලයෙන් මගඵල ලැබිය හැකි නම් බුදුන් වදාළ ධර්මයක් කුමකට ද?
මහත් කැපවීමකින් සකස් කරණ ලද “ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ” නම් වූ මේ “මහා සතිපට්ඨාන සූත්‍ර විවරණය එක් වරක් පමණක් කියවා පසෙක තබන්න එපා! හස්තසාර වස්තුවක් පරිද්දෙන් ඔබ ළඟ ම තබා ගෙන යළි යළි ත් කියවන්න. යළි යළි ත් තේරුම් ගන්න. යළි යළිත් පුරුදු පුහුණු කරන්න.
එවිට දුර්ලභ ව ලද මේ මිනිස් ජීවිතය ඒකාන්තයෙන් ම සතර අපායෙන් නිදහස් වීම පිණිස ත්, සංසාර දුකින් එතෙර වීම පිණිස ත් අතිශයින් ම ආශ්චර්යවත් වූ මේ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් ම උපකාරී වනු නියත ය.
මේ ග්‍රන්ථ රත්නය සකස් කිරීමේ දී මහත් ශ්‍රද්ධාවෙන් යුතු ව මට උපකාරී වූ සැමට මේ බුදු සසුනේ දී ම ධර්මාවබෝධය වේවා !
මේ අමූල්‍ය ග්‍රන්ථරත්නය පිළිබඳ අපගේ අදහස අප කළ්‍යාණමිත්‍ර දයාවංශ ජයකොඩි මහතා වෙත යොමු කළ සැණින් ම මෙය සැදැහැවත් ඔබ අතට පත් කිරීමට එතුමා බලවත් කැමැත්තෙන් ඉදිරිපත් විය.
එතුමා ඇතුළු එම පවුලේ සැමට ත්, දයාවංශ ජයකොඩි සහ සමාගමේ කාර්ය මණ්ඩලයට ත් ජීවිතාවබෝධය පිණිස මේ පින හේතු වේවා !
සියලු බුද්ධිමත් මනුෂ්‍යයින් හට තම චින්තනය තමාගේ ම ජීවිතාවබෝධය පිණිස යොමු කරගැනීමේ හැකියාව ඇතිවේවා !
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
0 comments:
Post a Comment