යළි ඉපදීම පිළිබඳ විමසා බැලීමක්

පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමි

පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් 2009දී ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වූ දේශනයක් ඇසුරෙන් මේ ලිපි පෙළ පළ වේ. මිනිසුන්ගේ මෙන් ම තිරිසනුන්ගේ ද යළි ඉපදීම් පිළිබඳ උදාහරණ මේ හිමියෝ ඉදිරිපත් කරති.
නැවත ඉපදීම පිළිබඳ තවත් වැදගත් ප්‍රශ්නයක් නම් නැවත ඉපදීමක් සිදු වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය යි. ඔබ භාවනාවේ යෙදෙනවා නම් මෙය ඔබට පැහැදිලි කරුණක් වෙනවා නිසැක යි. ඔබ එක් දවසක සිට තවත් දවසකට, ඔබ එක් වර්ෂයක සිට තවත් වර්ෂයකට, ඔබ එක් ජීවිතයක සිට තවත් ජීවිතයකට තල්ලු කරනු ලබන්නේ, මෙහෙයවනු ලබන්නේ කුමන හේතූන් විසින් ද යන්න ඔබට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඔබේ ප්‍රාර්ථනාවන් නැත් නම් අපේක්ෂා එහෙම නැත් නම් අභිලාෂයන් විසින් ඔබ දවසකින් තවත් දවසකට, අවුරුද්දකින් තවත් අවුරුද්දකට මෙහෙයවනු ලබන්නා සේ ඔබ එක් ජීවිතයකින් තවත් ජීවිතයකට ද ගෙන යනු ලබනවා.
බුදු රජාණන් වහන්සේ තෘෂ්ණාව ලෙස හැඳින්වූයේ මෙය යි. නිම නොවූ වැඩ රාජකාරි ලෙස ද ඔබට මෙය හඳුන්වන්න පුළුවන්.
නිදසුනක් විදිහට දැක්විය හැකි සිද්ධියක් පිළිබඳ කතාන්දරයක් මම දැන් ඔබට කියන්නම්. මේ සිද්ධිය විස්තර කර තිබුණු සඟරාව මම කියවූයේ අවුරුදු ගණනාවකට ඉස්සර යි. සිද්ධිය මේක යි:
මාග්‍රට් තැචර් මහත්මිය එංගලන්තයේ අගමැතිනිය ව සිටි කාලයේ, ගල් අඟුරු ආකර වසාදැමීම ඇගේ ආර්ථික ප්‍රතිපත්තියක් වුණා. මේ වන විට මේ ගල් අඟුරු ආකාරවලින් ලාභයක් නැහැ. ඒවා නඩත්තු කිරීම ආර්ථික වශයෙන් පාඩුවක් කියා තැචර් මහත්මිය සිතුවා. මා කියන්න යන සිද්ධියට සම්බන්ධ ගල් අඟුරු ආකරය කාඩිෆ් නගරයට ආසන්න ව පිහිටා තිබුණු ගල් අඟුරු ආකරයක්. පාඩු ලබන මේ අඟුරු ආකරයත් වසාදැම්මා. වසාදැමුවාට පසු වටේට කම්බි වැටක් ගැසුවා.
ගල් අඟුරු ආකරය තිබුණු ප්‍රදේශයේ ජීවත් වූ ජනයා, ඔවුන්ගේ බැළලියන් පැටව් ගසා, වැඩිපුර බළල් පැටවු බෝ වුණා ම, මේ බළල් පැටවුන් කම්බි වැටට උඩින් වසාදැමූ ගල් අඟුරු පතලට විසි කරන්න පුරුදු වී සිටියා. මෙය මේ විදිහට දිගට ම සිදු වෙමින් පැවතුණු අතර, අවුරුදු දහයකට විතර පසු ව මේ ගල් අඟුරු පතලේ තත්ත්වය පරීක්‍ෂා කිරීමට ඉංජිනේරුවන් පිරිසක් මේ ගැඹුරු පතලට බැස්සා. පතල කඩාවැටෙන්නට ඉඩ තිබෙනවා දැ යි පරීක්ෂා කර බැලීම ඔවුන්ගේ රාජකාරිය වුණා. ඔවුන් පතලේ, පතුලට බැස්සාම, අඩි ගණනක් උසට මැරිචිච බළලුන්ගේ මයිල්, ඇටසැකිලිවලින් පතලේ පතුල පිරී තිබෙන බව ඔවුන් දැක්කා. මේ සේරම පතල ඇතුළට විසි කළ බළල්ලු.
මේ වගේ ඉරණමකට පත් වූ බළල්ලු තම ජීවිතය බේරාගන්නට තැත් කරන බව ඔබ දන්නවා. ඉතා අපූරු සිදුවීම තමයි බළල්ලු විශාල ප්‍රමාණයක් පණ බේරාගෙන තිබීම. ඊටත් වැඩිය අපූරු ම දෙය තමයි: පණ බේරාගත්තු බළල්ලු බැළලියන්ට ජාතක ව අපූරු සත්ත්ව විශේෂයක් ලෙස සැලකිය හැකි බළල්ලු වර්ගයක් බෝ වී තිබීම. මේ අලුත් පරම්පරාවේ බළල්ලු අන්ධ යි; සහමුලින් ම අන්ධ යි. කන් ලොකුයි.
මේක මෙහෙම වුණේ කොහොම ද? ඒක හරිම පැහැදිලි යි. මීටර් සිය ගණනක් යට, පතල ඇතුළේ, පණ බේරාගත්ත බළල් පරම්පරාවට ජාතක ව උපන් අලුත් පරම්පරාවේ බළල් විශේෂයට ආලෝකය කොහොමටවත් දැකගන්න ලැබෙන්නේ නැහැ. හිරු එළිය හරි වෙනත් ආලෝකයක් පතලේ පතුලට වැටෙන්නේ නැහැ. මේ නිසා අලුත් පරම්පරාවේ බළල් ජාතියේ ඇස්වල වැඩීමක් සිදු වුණේ නැහැ. ඒ වෙනුවට කන් තමයි වැඩුණේ. ඒ මක් නිසා ද කිව්වොත් ඔවුන්ට කෑම බීම සොයාගෙන යන්න, සතුරන්ගෙන් බේරෙන්න, විරුද්ධ ලිංගිකයන් සමඟ සංවාදයේ යෙදෙන්න, අලුත් පරපුරක් බිහි කරන්න, මඟ පෑදුණේ පෙනීම නිසා නොවෙයි ඇසීම නිසයි; ශබ්දය නිසයි.
මේ නිසා අලුත් පරම්පරාව බෝ වෙන කොට වැඩිපුර ම වැඩුණේ කන්. මෙන්න මෙහෙම තමයි ඔබ මේ ජීවිතයෙන් තවත් ජීවිතයකට යන්න පොලඹවන්නේ; තල්ලු කරන්නේ. ඔබ පොලඹවන, තල්ලු කරන, මෙහෙයවන එම බලවේගය තමයි අභිලාශය. බුද්ධාගම ඒකට කියන්නේ තෘෂ්ණාව. අභිලාශයක් මුදුන් පත් කිරීමට, අලුත් නිර්මාණයක් කිරීමට තල්ලුව දෙන්නේ මෙන්න මේ අභිලාශයන් නැත් නම් මේ ජන්මයේදී නිම කරන්න බැරි වුණ වැඩ රාජකාරි හෙවත් නොනිමි මෙහෙවර. මේ සියල්ල කැටි කර දක්වන යෙදුම තමයි තෘෂ්ණාව.
ඔබත් අපත් සියලුම මනුෂ්‍ය වර්ගයාත් මෙහෙයවන මේ අභිලාශයන් නැත්නම් නොනිමි මෙහෙවර ඔබගේ මරණයෙන් කෙළවර වෙන්නේ නැහැ. මේ සකල බලවේග අඛණ්ඩව ඉදිරියට යනවා. එක් ජීවිතයකින් තවත් ජීවිතයකට යනවා.
මෙය මෙසේ සිදු වන්නේ කෙසේද? මේ ක්‍රියාවලිය මේ කිව් විදිහට සිදු වන්නේ කෙසේද යන්න දැනගැනීමට උනන්දු වන අයට මේ කාරණය වෙනත් උදාහරණයකින් කියා පාන්නට පුළුවන්.
ඔබ අඹ ගෙඩියක් කෑවාට පසු ඉතුරු වන ඇටය සමහර විට ඔබ අද ඔබේ වත්තේ පැළ කරන්න ඉඩ තිබෙනවා. මේ පර්ත්වල අඹ බොහෝම සරුවට වැඩෙනවා. අඹ ඇටයක් පැළ කළ පසු එය හැදී වැඩී ගෙඩි හැදෙන්න කොයිතරම් කාලයක් යනවාදැයි මට නිච්චියටම කියන්න බැහැ. සමහරවිට අවුරුදු පහක් දහයක් නැත්නම් අවුරුදු පහළොවක් ගත වෙන්න ඉඩ තිබෙනවා.
සරුවට හැදී වැඩී ලොකු-මහත් වුණු අඹ ගසේ මුල් ම අඹ ගෙඩිය ඔබ රස විඳින්න. මා ඔබෙන් අහන ප්‍රශ්නය මෙන්න මේකයි: ඔබ මුලින්ම කෑ අඹ ගෙඩියක් අලුත් ගසේ හැදුණු අලුත් අඹ ගෙඩියක් අතර සම්බන්ධය කුªමක්ද? මුල් අඹ ගෙඩියෙන් දෙවැනි අඹ ගෙඩියට ගලා ආවේ කුමක්ද? මේ ගෙඩි දෙක අතර ඍජු සම්බන්ධයක් නැහැ. ජීවිතයකින් තවත් ජීවිතයකට, කිසියම් දෙයක් ගලා යන්නා සේ අඹ ගසකින් ඒ අඹ ගසේ ඇටයකින් පැළ කළ අලුත් අඹ ගසටද යමක් ගලා යන බව ඇත්තක්. මක්නිසාද යත් ඔබ අඹ ඇටයක් පැළ කළ විට එම ඇටයෙන් ඇපල් ගසක් පැළ වෙන්නේ නැහැ.
මුල් අඹ ගසෙන් ලබාගත් අඹ ගෙඩිය හරිම රසවත් විත්තිය ඔබ දන්නවා. දෙවැනි අඹ ගෙඩිය ඒ වගේ රසවත් වෙන්නත් පුළුවන්. සමහර ඒවා ඒ තරම් රසවත් නොවෙන්නත් පුළුවනි. නියං කාලයේදී පැරැණි අඹ ගස නියඟෙට ඔරොත්තු දීම නිසා ඒ ගසේ අඹ ඇටයකින් පැළ වූ අලුත් අඹ ගසේ ඔරොත්තු දීමේ ශක්තිය, නැත්නම් ප්‍රතිරෝධය ශක්තිය ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. පළමුවැනි අඹ ගසට වඩා දෙවැනි අඹ ගස හාත්පසින්වෙනස්.

මුල් අඹ ගෙඩිය හා දෙවැනි අඹ ගෙඩිය හාත්පසින් වෙනස්. මුල් අඹ ගෙඩියේ ඇටය පැළ කළ පසු, පස් යට වැඩුණු ඇටය පුපුරා පුංචි අඹ පැළෑටියක් මතු වෙනවා. මේ අඹ පැළෑටියේ අතු ඉති ටිකෙන් ටික ලොකු මහත් වෙනවා. මේ විදිහට හේතුවත් ඒ හේතුව නිසා ප්‍රතිඵලයත් හැම දවසක එකට යා වෙමින් අඹ පැළය ලොකු ගසක් වී අතු ඉති සෑදි, මල් පිපී, මල් පරාග පෝෂණය වී, පල දරන්නට පටන් ගන්නවා. අලුත් අඹ ගසේ මුල්ම ගෙඩිය හැදෙන්නේ මෙන්න මේ විදිහටයි.
මේ විදිහට ඔබට වෙනසක් සිදු වන ආකාරය දකින්න පුළුවනි. හේතුවක් නිසා පලයක් ඇති වීමෙන් වෙනසක් සිදු වනවා. මුල් අඹ ගසෙන් දෙවැනි අඹ ගසට යමක් ගලා ආවා වගේම මිනිසා නම් සත්ත්වයාගේ මරණයෙන් පසුව ඔහු නැවත ඉපදෙනවා. නැවත ඉපදුණාම පෙර ජීවිතයට බැඳුණු කිසිවක් දැකගන්න අමාරුයි. ඒත් පරණ අඹ ගස පරිසරයට ඔරොත්තු දුන්නා වගේම අලුත් අඹ ගසටත් ඔරොත්තු දීමේ ශක්තියක් ලැබෙනවා. ඒ වගේම පරණ අඹ ගසේ අඹ ගෙඩිය රසවත් වුණ විදිහට අලුත් අඹ ගසේ අඹ ගෙඩියද රසවත් වෙන්න පුළුවන්. මෙය තමයි කර්මය කියන්නේ. පරණ අඹ ගෙඩි ගති සොබාවන්ට අලුත් අඹ ගසේ නැමියාවක් නැත්නම් නැඹුරුවක් තිබෙන්න පුළුවන්.
න්‍යායාත්මකව නැත් නම් සෛද්ධාන්තික වශයෙන් නැවත ඉපදීම හෙවත් පුනරුත්පත්තිය පැහැදිලි කරන්න උපයෝගී කරගත හැකි හොඳම උදාහරණය මේකයැයි මා සිතනවා. ඒ වුණත් මෙය ව්‍යවහාරයෙන් නැත්නම් ප්‍රායෝගිකව පැහැදිලි කරන්න නම් ඔබ මරණයට පත් වී මරණයෙන් පසු ඔබේ අත්දැකීම් මගින් නැවත ඉපදීම පැහැදිලි කරන්න පුළුවන්.
කෙනකු මරණයට පත් වූ පසු සිදු වන්නේ කුමක්ද? ඔබ මරණයට පත් වුවත් ඔබ තවමත් එතන සිටින බව ඔබ ඇසුවාම ඔබට පුදුම හිතේවි. ඔබ මරණයට පත් වූ පසු අවට අය වැලපෙමින් සිටින අතර ඔබ සිරුරෙන් වෙන් වී ගොස් සිදු වන දේවල් දකිමින්, ඇහෙන දේවල් අසමින් සිටීම ඔබට අත්දකින්න පුළුවන් වේවි. මේකට කියන්නේ ශරීරයෙන් ඉවතට පා වී යෑම කියලයි.
මේ පිළිබඳ ඉදිරිපත් කළ හැකි හොඳම උදාහරණයකට සම්බන්ධ සත්‍ය කතාවක් මම දැන් ඔබට කියන්නම්. මා මේ ඔබට කියන සිද්ධිය මා කියවපු සඟරාවක තිබූ ලිපියක තිබුණු සිද්ධියක්. ඒ ලිපිය ලියා තිබුණේ බෞද්ධයෙක් නොවන කෙනෙක් වීම විශේෂ සිද්ධියක්. එය බෞද්ධයන් විසින් ලිව්වා නම් “එහෙම තමයි බෞද්ධයන් හිතන්නේ, බෞද්ධයන් නැවත ඉපදීම විශ්වාස කරනවා කියා මේ වගේ දේවල් ලියනවා” යැයි කියන්න ඉඩ තිබෙනවා.
මේ ලිපිය ලියූ තැනැත්තා එම ලිපියෙන් අනාවරණය කර ඇත්තේ මරණය පිළිබඳ ඔහුගේ අත්දැකීම්. මේ අත්දැකීම් අනාවරණය කිරීමෙන් ඔහුට නැති වෙන්න නැත් නම් අහිමි වෙන්න බොහෝ දේ තිබුණා. මේ සිද්ධිය හෙළිදරව් කරන්නේ බටහිර ඕස්ට්‍රේලියාවේ හිටපු සෙනෙට් මන්ත්‍රීවරයෙක්. ඔහුගේ නම ග්‍රේහෑම් එඩ්වඩ්. ඔහු දැන් විශ්‍රාම ගොස් ඇතැයි මා සිතනවා. රෝද පුටුවක ගමන් කරන දේශපාලකයෙක් විදිහට ඔබට ඔහු මතක ඇති. ඔහු නිසාම අලුත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල රෝද පුටුවලින් යා හැකි ආකාරයට තනා තිබෙනවා.
ඔහු ලියා ඇති ලිපිය හරිම සිත්කාවදින ලිපියක්. මේ ලිපියේ හැටියට ඔහුට ඔහුගේ දෙපා අහිමිව ඇත්තේ වියට්නාම් යුද්ධයේදී. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වියට්නාම් යුද්ධයට සහභාගි වූ මේ තැනැත්තා යුද පිටියේදී වෙඩි වැදී තුවාල ලැබූ තවත් සගයකුට පිහිට වීමට, තුවාල ලැබූ තැනැත්තා දිහාවට දුවගෙන යන වේලාවේ, බිම් බෝම්බයකට ගොදුරු වී කකුල් දෙකම කැඩුණා.
බිම් බෝම්බයට අසු වූ සැණෙන්, විදුලි සැරක් වැදුණා වගේ නිමේෂයකින්, විඳ දරාගන්නට බැරි තරම් වේදනාවකින් පසුව, ඔහුට ඊළඟට අත්දකින්නට ලැබුණේ අමුතුම අත්දැකීමක්. ඔහුගේ වචනවලින් කිව්වොත් ඒ අත්දැකීම මෙසේය:
“ඊට පස්සේ මෙතෙක් විසූ ලෝකය ගැන කිසිම තැකීමක් නැතුව, වියට්නාමයේ කුඹුරු ඉහත්තාවෙන් මා පාවීගෙන ගියා. එවිට මට දැනුණේ හරිම නිදහසක්, හිතේ සාමයක්. එය තමයි මා මගේ ජීවිතයේදී අත්දුටු හරිම පුදුමාකාර අත්දැකීම.”
තාවකාලික මරණයට පත් වී විඥාන ධාරාව සිරුරෙන් ඈතට පා වී ගිය හැම කෙනකුගේම අත්දැකීම් මේ සමානයි. මේ විදිහට මරණයට පත් වී ශරීරයෙන් වෙන් වී, ඒත් ඇසීම, දැකීම ලබමින් සිදු වෙමින් පවතින දේවල් නිරීක්ෂණය කිරීමට ඉඩ ලත් සෑම දෙනෙකුගේම අත්දැකීම් මේ වගේ විස්මය ජනකයි. හරිම සන්තුෂ්ටියක් හා හිතේ සාමයෙන් සැනසීමෙන් පිරුණු අත්දැකීමක්. ඔවුන් නැවත ශරීරයට එක්කාසු වී ප්‍රාණය ලැබූවාට පසුව මරණයට කොහෙත්ම බය නැහැ. මරණය කියන්නේ බය වෙන්න දෙයක් නොවෙයි කියා ඔවුන් අනික් අයට කියනවා. මියයෑම බියට පත් වීමට කරුණක් වෙන්න පුළුවන්. මක් නිසාද යත්: මියයෑමේදී වේදනාවට පත් වීම, හුදෙකලා වීම මගින් බියක් දැනුණත් මරණය බියට පත් විය යුතු නැති සුන්දර අත්දැකීමක්. එය තාවකාලික මරණයට පත් වී නැවත ජීවත් වීමට වාසනාව ලැබූ අයගේ අත්දැකීමක්.
බිම් බෝම්බයට ගොදුරු වී, බරපතළ තුවාල ලැබූ, තමා ශරීරයෙන් වෙන් වී කොයි තරම් වේලාවක් ඉහළ අහසේ පා වෙමින් පුදුමාකාර සහනයක් ලැබුවා ද කියා ඔහු දන්නෙ නැහැ. ආපසු ශරීරයට එන්නට සිදු වූ හේතුව ඔහු මෙහෙම පවසනවා:
ඒකට හේතුව ඔහුගේ සිතේ පහළ වූ සිතිවිල්ලක්. එනම් දරුවකු ලැබීමට ආසන්නව පර්ත්වල සිටි තම භාර්යාවට, දරුවා ලැබුණා පමණයි. මේ නිසා පියකු වශයෙන් තමාට පැවරී ඇති වගකීම් ඔහුට සිහිපත් වුණා. මම මගේ භාර්යාවත්, අලුත උපන් දරුවාත් අත්හැර දමා යන්නට හොඳ නැහැ යි ඔහුට සිතුණා. මේ සිතිවිල්ල සමඟ ඔහු නැවත ඔහුගේ ශරීරයට උරාගත් බව ඔහුගේ අත්දැකීමයි. ඔහුගේ සිරුරට නැවත එකතු වීම සමඟ ඔහුට දරාගන්නට අමාරු තරම් වේදනාවක් දැනුණ බව ඔහු කියනවා. ඉන් අනතුරු ව ඔහුට සිහිය ඇවිත් මොහොතකට පසු ඇස් හැර බලන විට රෝහලක තමා ඇඳක් උඩ සිටින බව වැටහුණු බව ඔහු කිව්වා.
දේශපාලනඥයෙක් වුණත්, ඔහු ඔහුගේ මේ අපූරු අත්දැකීම ලිවීමට තරම් නිර්භීත වුණා. නින්දා අපහාස සිදු වෙන්න ඉඩ තිබුණත් තමාගේ අත්දැකීම් වෙනත් අය සමඟ බෙදා-හදාගන්නට ඔහුට ඕනෑ වුණා. ඒක අතිවිශිෂ්ටයි.
පුනරුත්පත්තිය නැත් නම් නැවත ඉපදීම ගැන මා මේ දේවල් කියන්නේ ඇයි? පුනරුත්පත්තිය සිදු වන බව විශ්වාස කිරීමට අප්‍රමාණ සාක්ෂි තිබෙන බව ඔබ දන්නවා. මේ විදිහට සිදු වන්නේ කුමක්දැයි ඔබ දැනගත්තාම ඔබ ඔබේ ජීවිතය දිහා බලන විදිහ වෙනස් වෙනවා; ජීවිතය පිළිබඳ ආකල්ප වෙනස් වෙනවා. සමහර අය බොහෝ දේවල් දිහා බලන්නෙ බොහෝම පටු විදිහටයි. ජීවිතය කියන්නේ එක ජීවිතයක් විතරයි කියා සිතන එකත් ඉතාමත්ම පටු විදිහට සිතීමක්.
එක ජීවිතයක් පමණක් ඇතැයි සිතුවාම බොහෝම සිත් තැවුල්, බලාපොරොත්තු කඩ වීම් ඇති වෙනවා; ඒ වගේ බොහෝම වද-වේදනා දුක්-පීඩාවන්ට පත් වෙනවා. මක් නිසා ද යත්: එක ජීවිතයකදී සැම විට ම සිතූ-පැතූ විදිහට දේවල් සිදු වන්නේ නැහැ. සමහර වේලාවට එකම ජීවිතයක් පමණයි ඇත්තේ කියා සිතුණාම එම ජීවිතය ශෝකයෙන් පිරී යනවා. එක ජීවිතයක් පමණක් ඇතැයි සිතාගෙන සිටියොත් ජීවිතය හැමවිටම හොඳ පැත්තට ගමන් කරන්නේ නැහැ. සමහරවිට ඔබට හොඳ ජීවිතයක් ලැබී තිබෙන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපට ඒ තරම් මැසිවිලි කියන්නේ නැති හොඳ ජීවිතයක් ලැබී තිබෙන්න පුළුවන්. ඒත් පත්තරවලින්, රූපවාහිනියෙන් ලැබෙන ආරංචි ගැන බලන්න.
පලස්තීනයේ, සිම්බාබ්වේ වැනි ලෝකයේ ගිනි ඇවිළෙන වෙනත් තැන්වල සිදු වන දේවල් දිහා බලන්න. මෙහෙම වෙන්නේ මොකද? හරිම අසාධාරණයි නේද කියා සිතෙන්න පුළුවන්. අපි පටුවට හිතන්නේ නැතිව පුළුල් චිත්‍රය දිහා බැලුවාම අපේ සමහර ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්න පුළුවනි. ජීවිතය දිහා පටු විදිහට බලන්නේ නැතිව අපි නැවත නැවත ඉපදෙනවා කියා පුළුල් චිත්‍රය දිහා බැලුවාට භවයෙන් භවයට යන ජීවිතය, හරියට පාසලකට, විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙනගන්නවා, පුහුණුවක් ලබනවා වගෙයි. අපි පාසලකට විශ්වවිද්‍යාලයකට යන්නේ එක අවුරුද්දකට විතරක් නොවෙයි. අපට නිවාඩු කාලය ලැබෙනවා. ඊට පස්සෙ අපි තවත් දේවල් ඉගෙනගන්න පාසලට නැත්නම් විශ්වවිද්‍යාලයට යනවා. ඔබ ඊළඟ අවුරුද්දෙත් ඉගෙනගන්න පාසලට නැත් නම් විශ්වවිද්‍යාලයට යනවා.
පාසල් අධ්‍යාපනය, නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කළ පමණින් ඔබේ ඉගෙනීම නිමවෙන්නේ නැහැ. හැම අවුරුද්දකම අප තවත් ටිකක් ඉගෙනගන්න ඕන විත්තිය ඔබ කවුරුත් දන්නවා. බුද්ධිය එකතු කරගන්නවාට වඩා අපි අත්දැකීම්වලින් දැනුම එකතු කරගන්නවා. මේකට කියන්නේ අත්දැකීම් ඥානය කියලයි. අත්දැකීම් ඥානයෙන් ජීවිතය ගැන ඉගෙනගන්නවා. පොහොසත් වීම, කීර්තිමත් වීම, කීර්තිමත් නොවීම වැනි දේවල් නොව ජීවිතය ගැන ඉගෙනගන්නවා.
ජීවිතයේ වඩාත්ම වැදගත් දේවල් ගැන ඉගෙනගන්නවා. අපි එක ජීවිතයක් නොව ජීවිත ගණනාවක් ජීවත් වෙනවාය කියා දැනගත්තාම ජීවිතයට සම්බන්ධ පුළුල් චිත්‍රය පිළිබඳ තවත් පුදුමාකාර දෙයක් තිබෙනවා. එක ජීවිතයක් කියා සිතුවාම ජීවිතය පිළිබඳ චිත්‍රය පටුයි. එක ජීවිතයක් නම් තිබෙන්නේ එය කෙටි ජීවිතයක්. අවුරුදු 60කින් 70කින් 80කින් නිම වන ජීවිතයක් කියන්නේ කෙටි ජීවිතයක්. මේ කාමරයේ සිටින අපගේ වයස කොපමණද? බොහෝ දෙනෙකුගේ ජීවිතයේ හොඳ හරිය ගෙවී ගිහින්. එක ජීවිතයක් කියන්නේ නිමේෂයක් විතරයි. ඔබ හැමදෙනාම ඒක දන්නවා.
‘ෂහ්, මගේ ජීවිතයේ හොඳ හරිය ගිහින්. මට දැනටමත් වයසයි!’ සමහර වේලාවට ඔබ සිතනවා. එක ජීවිතය කියා පටු චිත්‍රය දිහා බැලුවාම එසේ සිතුවත් පුළුල් චිත්‍රය දිහා බැලුවාම ඊට වැඩිය වෙනස්.

0 comments:

Post a Comment

මාගේ දිවියම විද්‍යාව වෙනුවෙන් කැප කල මා යමක් ලබා ගත්තේ නම් ලබාගත්තේ බුදු දහමින් පමණි.

මාගේ දිවියම විද්‍යාව වෙනුවෙන් කැප කල මා යමක් ලබා ගත්තේ නම් ලබාගත්තේ බුදු දහමින් පමණි.

පිටුවට සම්බන්ද වූ සාමාජිකයන්