විද්‍යාඥයන්ගේ පර්යේෂණවල පරමාර්ථයත්, බුදු රදුන්ගේ ‘අරිය පර්යේෂණයේ’ පරමාර්ථයත්, ඒ සඳහා අනුගමනය කළ ක්‍රම-වේදවල වෙනස හා එයින් මනුෂ්‍ය වර්ගයාට ලැබී තිබෙන ප්‍රතිඵල අතර වෙනසත් සලකා බැලීමකි මේ.
විද්‍යාඥයන්ගේ අරමුණ වූයේ මිනිසා ජීවත් වන ලෝක පරිසරය තුළ සිද්ධ වෙමින් පවතින, එහෙත් එක එල්ලේ මිනිසාට විද්‍යමාන නොවන හැටියට පාරිසරික දේවල සැඟවී තිබෙන ඇත්ත තත්ත්වය අනාවරණය කරගැනීම යි. ඒ සඳහා අවධානයට යොමු වූ දේවල් අතර මහපොළොව, ජලය, සූර්යයා හා සූර්ය රශ්මිය, වාතය යන මේ දේවල් හා සමඟ මිනිස් ජීවිත, සත්ත්ව ජීවිත, වෘක්ෂලතාදිය බැඳී තියෙන විධි යනාදිය ගැන දැනුම ලබාගැනීමෙන්, මිනිසාට ආහාරපාන සපයාගැනීම, දේශගුණයට ඔරොත්තු දෙන වස්ත්‍ර සකස් කරගැනීම, නිවාස තනාගැනීම, ලෙඩ රෝග හැදෙන විධි දැනගැනීමෙන් ශරීර සෞඛ්‍යය රැකගැනීම, ගමනාගමනය පහසු කරගැනීම, සතුරන්ගෙන් බේරීමේ උපක්‍රම යනාදි වශයෙන් මිනිස් ජීවිතය සැපවත් කරගැනීමේ විධි සොයාගැනීම යි.
විද්‍යාව වෙනුවට යෙදෙන science යන වචනයේ සාමාන්‍ය තේරුම knowledge යන දැනුම යි; විශේෂයෙන්, කිසියම් විෂයයක් යටතේ, කාලයක් තිස්සේ ඒකරාශි වී තිබෙන දැනුම් සම්භාරය, ක්‍රමයක් අනුව, විධිමත් ලෙස සකස් කොට, ප්‍රසිද්ධියට පත් කළ විට, එය ‘විද්‍යාවක’ තත්ත්වයට පත් වෙයි. නිදසුනක් හැටියට භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගණිත විද්‍යාව, සමාජ විද්‍යාව යනාදි වශයෙන් අද වන විට විද්‍යා විෂයයන් රාශියක් සකස් වී තිබේ.
“විධිමත් ලෙස සකස් කරනවා” ය යන කියමනේ විශේෂ තේරුමක් ඇත. යම් කිසි කරුණක් ගැන මුලදී විද්‍යාඥයන් ඉදිරිපත් කරන මතයක් වේ නම්, ඒ හැම මතයක් ම සලකනු ලබන්නේ ‘අනුමාන’ මත හැටියට යි; ඇත්ත වශයෙන් ම ඇත්ත හැටියට නො වෙයි. ඉන් පසු ඒවා එකිනෙකට වෙනස් තත්ත්වයන් යටතේ, වෙනස් පසුබිම් යටතේ, අත්හදාබැලීමේදී, එක ම නිගමනයකට ආ හැකි විධියේ, එක ම ප්‍රතිඵලයක් ලබා දෙනවා නම්, එය ඕනෑ ම කෙනෙකුට ඇත්තක් ද? නැද්ද? කියා අත්හදාබැලීමට යටත් වූ ‘විද්‍යාත්මක’ සත්‍යයක්, නීතියක් හැටියට ඉදිරිපත් කැරේ.
ඕනෑ ම දෙයක් විද්‍යාත්මක ව තේරුම් ගැනීමේදී හා ඉදිරිපත් කිරීමේදී අනිවාර්යයෙන් ම අනුගමනය කැරෙන එක්තරා පොදු ප්‍රතිපත්තියක් තිබේ. එය නිදර්ශනයක් තුළින් තේරුම් කිරීම වඩාත් පහසු යි.
‘රෑ-දවාල සිද්ධ වීම’ යන මාතෘකාව ගනිමු. මේ සිද්ධිය පිළිබඳ විද්‍යාත්මක සත්‍යය එළිදරව් කරගැනීමේදී මුලින් ම කරනු ලබන්නේ, මේ ගැන සොයන-බලන, කල්පනා කරන, විද්‍යාඥයන්, මනුෂ්‍යයන් වුණත්; ඒ මනුෂ්‍ය ‘පුද්ගලයන්ගේ’ පෞද්ගලික පිළිගැනීම්, මනාප-අමනාප හැඟීම්, නිගමන, ආකල්ප සහමුලින් ම කපාහැරීම යි.

ස්ත්‍රී-පුරුෂ පුද්ගල ආධිපත්‍යයට කිසි සේත් යටත් නොවූ, causality කියන හේතු-ප්‍රත්‍යයන් අතර පවත්නා ස්වාභාවික සම්බන්ධතාව නමැති මූලධර්මය, ‘විජ්ජා උදපාදි’ යනුවෙන් බුදුරදුන් තුළ පහළ වූ ‘විද්‍යාවට’ අනුව, ‘නවීන’ ය කියන විද්‍යාවෙන් බොහෝ දුර ඔබ්බට ගිය ධර්මතාවකි.
මේ කියූ දේ හොඳින් තේරුම් ගත යුතු ඉතා වැදගත් කරුණකි. හිත්-පිත් නැති ‘භෞතික’ ලෝකය තුළ ක්‍රියාත්මක වන causality කියන හේතු-ඵලවාදයත්, හිත්-පිත් ඇති මනුෂ්‍ය වර්ගයා අත්විඳින ‘භව දුකට’ හේතු-ප්‍රත්‍ය වන දේවල් පිළිබඳ මනෝ-විද්‍යාවත් අතර ඇත්තේ අතිවිශාල පරතරයකි.
ඇස්-කන් ආදි ඉන්ද්‍රියයන් හරහා ගලා එන අරමුණු හමුවේ, හිතේ පහළ වන මනාප-අමනාප, සැප-දුක යනාදි වේදනා, වේදනා තුළින් ඇති වන සඤ්ඤා හා සඤ්ඤා ඇසුරෙන් දේවල් හඳුනාගැනීම, හඳුනාගැනීමට අනුව ගොඩනැගෙන සිතිවිලි, ගොඩනැඟුණු සිතිවිලිවලින් සකස් වන අදහස්, කල්පනා, මතිමතාන්තර, විශ්වාස-දෘෂ්ටි යනාදිය, ඒ දේවල් හැම එකක් ම මානසික ක්‍රියාකාරකම් හැටියට එළිදරව් කරන විඤ්ඤාණය යනාදි මානසික ජීවිතය නොහොත් භව පැවැත්ම අහලකට වත් නවීන විද්‍යාවට කිට්ටු වන්නට බැරි ය.
මනසට පාදක වන කායික ඉන්ද්‍රිය වූ මොළය නිමැවී තිබෙන සෛල-ස්නායු පිළිබඳ, දැනුත් මතු කරගනිමින් තියෙන තොරතුරු අඩංගු Neuro-science යන ස්නායු විද්‍යාව පමණක් මානසික ලෝකය දෙස එබී බලමින් සිටින එය ම නවීන විද්‍යාව යි.
සිදුහත් කුමරු බාල වයසේ සිට, රජ සැපට ගිජු කිරීම සඳහා, පිය රජු ගත් උත්සාහය ගැන අප අසා තිබේ. ඒ නිසා මිනිස් ජීවිතය උපරිම වශයෙන් සැපවත් කිරීමේ නවීන විද්‍යාවේ අරමුණ සිදුහත් බෝසතාණන්ට කොහොමට වත් අදාළ නොවන බව පැහැදිලි වනවා ඇති. එහෙම නම්, රජ කුමරු තමන් භුක්ති විඳිමින් සිටි උපරිම සැපසම්පත් සියල්ල අතහැරදමා, තාපස ජීවිතය අත්හදා බැලීමට වනගත වූයේ, කිනම් අරමුණක් ඉටු කරගැනීමට ද?

තමාගේ ජීවිතය මේ දුකින් නිදහස් කරගත හැකි විධියක් ඇත්තේ ම නැද්ද? කියා ‘නිකමටවත්’ හිතෙනවා නම්, එහෙම හිතෙන්නේ කීයෙන් කී දෙනකුට ද? බොහෝ දෙනකු හිතාගෙන ඉන්නේ මරණයෙන් මේ දුක් සියල්ල අවසන් වන බවත්, එතෙක් කළ යුතු එක ම දේ, මේ ජීවිතයෙන් විඳගන්න පුළුවන් හැම සැපක් ම විඳගත යුතු ය කියාත් නො වේ ද?
ඒ වුවත්, මනුෂ්‍ය වර්ගයා ඇතුළු සත්ත්ව සංහතියේ ‘භව ගමන’ බොසතාණන් දුටුවේ උත්පත්තිය බීජයක හට ගැනීම නම්, ඒ බීජයට පෙරාතුව, එය හටගැන්වීමට ගෙඩියක් තිබිය යුතු බවත්, එයින් හටගත් බීජය නැවත ගසක් බවට පත් වී, ගසෙන් තවත් ගෙඩියක් හැදී, ඒ තුළින් තවත් බීජයක් හටගන්නවා වාගේ ම, ඉපදීමක් සිදු වුණා ය කියන්නේ එය ඊට පෙර සිදු වූ මරණයක ප්‍රතිඵලය බවත්, මරණයක් සිදු වුණා ය කියන්නේ, එයින් නැවත ඉපදීමක් සිද්ධ වීම ය යන ආකාරයට, අවසානයක්, නිරෝධයක් නැතුව, දිගින් දිගට ගලාගෙන යන එක ම දුක් ගංගාවක් වූ ‘සංසාරය’ හැටියටත් ය.
මේ විධියට කවරදා වත් නවතින්නේ නැති, ඉපිද ජීවත් වන හැම සත්ත්වයකුට ම විඳීන්නට සිද්ධ වී තිබෙන භව දුක නැති කරදැමිය හැකි ක්‍රමයක් සොයාගැනීම උන් වහන්සේගේ එක ම අධිෂ්ඨානය විය. මේ පර්යේෂණය පටන් ගැනීමේදී උන් වහන්සේ විසින් ඒ යුගය වන තෙක්, උතුරු ඉන්දියාවේ පහළ වූ මුනිවරුන් ය, ඍෂිවරුන් ය කියන අය, මෝක්ෂය කියන සදහට ම දුකෙන් මිදීම සඳහා පුරුදු-පුහුණු කළ යුතු ය කියා නියම කොට තිබූ හැම යෝග ක්‍රමයක් ම, අකුරට ඉටු කරන්නට යෙදුණා හ.
ඒ වුවත්, ඒ කියූ සමාධි හෙවත් ධ්‍යාන තත්ත්වයන් තුළ රැඳී සිටින තාක්, කිසි දුකක් නොදැනුණත්, එයින් ඇහැරී, අවදි ජීවිතය ගත කරන විට, ඒ ‘මෝක්ෂය’ අතුරුදන් වන විධියේ දෙයක් නිසා උන්වහන්සේ ඒ සියල්ල අතහැරදැමූහ.
සිදුහත් බෝසතාණන් ජීවත් ව සිටි කාලයේදී මනුෂ්‍ය ජීවිතය පිළිබඳ දර්ශනවාදී - මත තුනක් ප්‍රචාරය වී තිබිණි:
(1) මිනිස් ජීවිතය තුළ අත්විඳිනු ලබන හැම දුක-සැපක් ම, පෙර ආත්මයකදී කරන ලද කර්මවල විපාක වශයෙන් සිද්ධ වන දේවල් ය. (එහෙම නම්, එදා කළ දේ ගැන අපට අද කිසිවක් නොකළ හැකි නිසා, ඒ දුකෙන් ගැලවීමක් නෑ නේද?)
(2) මිනිසා ඇතුළු ලෝකය, ඊශ්වරයාගේ කැමැත්ත පරිදි ඇති කරන, නැති කරන දෙයක් ය. (එහෙම නම්, මිනිස් අපට මොකක් ද තියෙන වගකීම?)
(3) ජීවිතය තුළ සිද්ධ වන දේවල්, කිසි ම හේතුවක් නැතුව, අහම්බෙන්, ඉබේට සිද්ධ වෙන දේවල් ය. (එහෙම නම්, ලෝකයත් ජීවිතයත් එක ම අවුල් ජාලයක් මිස, එය නිරවුල් කරන විධියක් ඇත්තේ ම නැහැ නේද?)

විද්‍යාඥයාගේ අරමුණ වූයේ, මිනිස් ඇසට, කනට ගොදුරු වන බාහිර ලෝකයේ සිද්ධ වන දේවල්, ඒ විධියට සිද්ධ වන්නේ මොන හේතුවකට ද? මොන නීතියකට අනුව ද? කියා දැනගැනීම යි; ඥානය ලබාගැනීම යි. ඒ අරමුණට අනුව, ඔවුන් අවධානය යොමු කළේ, රෑ-දවාල සිද්ධ වන හැටි, මහ පොළොව පැතලි ද? ගෝලාකාර ද? ගහකින් ගෙඩියක් ගැලවෙන විට උඩට විසි වන්නේ නැතුව, බිමට ම වැටෙන්නේ මන්ද? යනාදි විධියේ බාහිර ලෝකය තුළ ක්‍රියාවට නැඟෙන ස්වභාවධර්මතා අනාවරණය කරගැනීමට යි.
බෝසතාණන් වහන්සේගේ අරමුණ මීට වඩා හැම අතින් ම වෙනස් වූවකි. එනම්: මිනිස් ජීවිත-පැවැත්ම භවයක් හැටියට දුක් විඳීමක් වී තිබෙන්නේ කොහොම ද? එය දුක් විඳීමක් වෙනුවට, සැනසීමක් කරගත හැකි විධියක් සොයාගැනීම යි. ඒ අරමුණට අනුව, උන් වහන්සේගේ අවධානය යොමු වූයේ, හිත්-පිත් නැති භෞතික බාහිර ලෝකය දෙසට වඩා, දුක-සැප යන වේදනා විඳින සවිඤ්ඤාණක කියන හැම දෙයක් ම දැනුවත් වීමේ ශක්තියක් ඇති, සචේතනික කියන හිතා-මතා ක්‍රියා කිරීමේ හැකියාවක් ඇති, සජීව-වස්තු කියන පණ ඇති, සත්ත්ව-පුරුෂ පුද්ගලයන්ගේ හටගැනීම හා පැවැත්ම වෙතට යි. එයට හේතුව ගස්-ගල්, ඉර-හඳ, වැසි-සුළං යනාදිය ශෝකය-වැලපීම-දුක, සන්තාපය-සතුට-මනාපය, ආශාව-තණ්හාව යනාදි හැඟීම්වලට භාජන නොවන අතර, ඒවායින් තැවුලට, පීඩාවට පත් වන්නේ, හිත්-පිත් ඇති සත්ත්ව කියන ස්ත්‍රී-පුරුෂ-පුද්ගලයන් පමණක් ම වීම යි.
මේ අවබෝධයට අනුව, බෝසතාණන් වහන්සේ, තමන්ගේ ම හිතත්, කයත් පාදක කරගනිමින්, තමන්ගේ ම උත්සාහයෙන්, ඒ හිත චිත්ත-විසුද්ධි කියන, හිතේ ගොඩනැගෙන වැරැදි අදහස්, මත සංකල්ප යනාදිය කපාහැර, ඒවායින් හිත හිස් කරගැනීමේ ව්‍යායාමයෙහිත් නිරත වූ හ.
බෝසතාණන්ගේ අත්හදාබැලීමට භාජනය වූයේ, නවීන විද්‍යාව විසින් ‘subjectitve = මනෝබද්ධ’ කියා ප්‍රතික්ෂේප කරනු ලබන, ජීවිතය පිළිබඳ ආධ්‍යාත්මික = ඇතුළාන්ත අංශය යි.
‘බුදු නුවණ’ නම් වූ මහා ප්‍රඥාව පහළ වූයේ තමන්ගේ මනස - හිත නමැති ඉන්ද්‍රිය උපරිම වශයෙන් විසුද්ධි කියන පිරිසිදු තත්ත්වයට ගෙන ඒමේ ප්‍රතිඵලය වශයෙනි.
‘යථා භූත ඤාණ දස්සන’ ය යන, ජීවිතය හා ලෝකය තුළ සිද්ධ වන්නා වූ හැම දෙයක් ම හටගන්නා වූ ද පවත්වාගෙන යන්නා වූ ද ‘හේතු’ ඒ හැටියට ම නුවණින් දැකගැනීම ය කියන විද්‍යාව උදා වීම, ඒ බුදු නුවණේ එක් විශේෂ අංගයකි.
කවර දා සිට ද කියා දැනගත නොහැකි, අනාදිමත් කාලාන්තරයක සිට තම චිත්ත සන්තානය තුළ එක්-රොක් වී ගොඩගැසී තිබුණු ආසව-අනුසය කියන කෙලෙස් කන්දරාව දැවී-පිලිස්සී විනාශ වී යෑමත්, එතෙක් අවිද්‍යා නමැති ආසව-විෂ ධූමයෙන් වැසී ගිය විද්‍යා කියන ජීවිතය අත්විඳීනු ලබන විධිය පිළිබඳ ඇත්ත දකින ප්‍රඥාව උදා වීමත්, බුදු නුවණ පහළ වීමත්, ඒ නුවණට අනාවරණය වූ විද්‍යාත්මක සත්‍යය, සද්ධර්මය හැටියට ගොනු කොට, ලෝකයට එළිදරව් කිරීමේ හැකියාවත් යන මේ හැම දෙයක් ම සිද්ධ වූයේ එක විට ම ය.
‘බුද්ධත්වය’ යනු මේ සියල්ලේ ම එකතුව යි. ‘සම්මා සම්බුද්ධ’ යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලබන්නේ ද කලාතුරකින් මේ තත්ත්වයට පත් වන එක ම එක මහා උත්තමයන් වහන්සේ නමක් පමණක් ම ය.
සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා ය යනු, මිනිසා ඇතුළු සියලු සත්ත්ව වර්ගයාගේ ජීවිත පැවැත්ම දුක් විඳින (භව පැවැත්මක්) බවට පත් ව තිබීමේ හේතු අනාවරණය වීමත්, ඒ සියලු හේතු, උන් වහන්සේගේ මානසික ජීවිතයෙන් නිරෝධ වී, අහෝසි වී, නැති වී යෑමත් සමඟ, උන් වහන්සේගේ මනස ‘චක්බුං උදපාදි’ කියන විධියට, ඇසක් බවට, මනැසක් බවට, ‘දහම් ඇසක්’ බවට පරිවර්තනය වූ බව යි. ‘දහම් ඇසක්’ ය කියන්නේ මිනිස් ජීවිතය ඇතුළු ව, විශ්වය තුළ සිද්ධ වී තිබෙන හැම දෙයක් ම, සිද්ධ වෙමින් පවතින්නා වූ හැම සිද්ධියක් ම, එසේ වීමට හේතු වූ ධර්මතා හෙවත් ස්වභාව ධර්මය පැහැදිලි ලෙස පෙනෙන-දකින විද්‍යමාන වන මනැසකට යි. ඇහැකට යමක් පෙනෙන්නට නම්, කිසියම් එළියක්, ආලෝකයක් මැදිහත් විය යුතු බව අප දන්නා දෙයකි. බෝසතාණන් වහන්සේට ජීවිතය ගැන හැම දෙයක් ම එළිදරව් කිරීමට මැදිහත් වූ ආලෝකය ‘ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි’ යනුවෙන් කියැවෙන ඤාණය හෙවත් නුවණ සහ ප්‍රඥා කියන, සාමාන්‍ය ඇසට හෝ හිතට බැලූ බැල්මට නොපෙනෙන විධියේ, සත්‍යතා ප්‍රදර්ශනය කරන, දෙවිධියක ආලෝකය යි. මේ උන් වහන්සේ තුළ පහළ වූ බුදු නුවණේ හෙවත් සද්ධර්මයේ පැති කීපයක් පමණි.
‘විද්‍යාව’ යනු වර්තමාන ලෝකයේ බහුල ව ව්‍යවහාර වන වචනයකි. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, කායික විද්‍යාව, මනෝ විද්‍යාව යනාදි මේ හැම විෂයයක් පාසා ම යෙදෙන ‘විද්‍යා’ යන වචනයේ පොදු ලක්ෂණය කුමක් ද?
ආදි කාලයේ අපේ මුතුන්-මිත්තන් හිතාගෙන සිටි හැටියට, පවතින දෙයක් ඇත් නම්, සිද්ධ වෙන සිද්ධියක් ඇත් නම්, එය අනිවාර්යයෙන් ම, අපට නොපෙනෙන දෙවි කෙනකු විසින් හෝ සත්ත්ව-පුරුෂ-පුද්ගල කියන ‘කෙනකු විසින් හටගන්වා හසුරුවනු ලබන දෙයක් විය යුතු ම ය යන ඇදහීමේ දෘෂ්ටිය වෙනුවට හැම විද්‍යාවකින් ම, සාක්ෂි සහිත ව ඔප්පු කරනු ලබන්නේ, ඒ හැම දෙයක් ම, හැම සිද්ධියක් ම ඇහැට පෙනෙන විධියට, හිතාගෙන ඉන්න විධියට වඩා හැම අතින් ම වෙනස්, වෙන-වෙන දේවල එකතුව, සහයෝගය සංයෝජනය හේතු කොටගෙන සිද්ධ වෙන දේවල් බව යි. මේ හැම දෙයක් පසු පස ම ක්‍රියාත්මක වන හේතු-ඵල ධර්මතාව, විද්‍යාඥයන්ගේ අත්හදාබැලීම්වලින් හෙළි වූයේ පසුගිය වසර දෙසීය අතරතුර වුවත් ඒ ස්වභාවධර්මතාව, එයට වඩා බොහෝ සෙයින් ‘ගැඹුරින්’ හා ‘පළලින්’ ‘විජ්ජා උදපාදි’ = ‘විද්‍යාව පහළ වූවේ ය’ යනුවෙන් බුද්ධත්වයේ අංගයක් හැටියට, සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ ගෙන ගිය ‘ආර්ය පර්යේෂණය’ යන අත්හදාබැලීම තුළින් සනාථ වූයේ දැනට සියවස් 26කට ඉහත දී ය.
අද අප විසින් ‘2600 සම්බුද්ධත්ව ජයන්තිය’ කියා සමරනු ලබන්නේ, ඒ සත්‍ය ධර්මය මනුෂ්‍ය ලෝකයට අනාවරණය වූ දිනය සිහිපත් කරමින් බුදුරදුන්ට පහළ වූ ඒ විද්‍යාත්මක ප්‍රඥාව භාවිතයට ගනිමින්, අපට ද භව දුකින් එතෙර වීමේ වාසනාව තිබෙන බව මතක් කර දීමට ය.
පර්යේෂණ (experiment) යන වචනයෙන් අදහස් කෙරෙන දේ, විද්‍යාව ඉගෙනගන්නා හැම ශිෂ්‍යයකු ම දන්න දෙයක් ය.
‘අනුමානයක්’ හැටියට ඉදිරිපත් කරනු ලබන මතයක් ඇත්ත වශයෙන් ම ඇත්තක් ද, කියා ස්ථිර කරගැනීමට, විවිධ තත්ත්වයන් යටතේ, ‘‘testing’ යන පරීක්ෂණවලට භාජන කිරීම හෙවත් ‘අත්හදා බැලීම’ විද්‍යා -අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිපත්තියකි.
තාක්ෂණය (technology) කියන විද්‍යාවෙන් ලබාගත් දැනුම භාවිතයට ගනිමින්, විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් විසින් පුරාණ ලෝකයට වඩා බොහෝ සෙයින් වෙනස් ලෝකයක් අද වන විට, මවා තිබෙන බව දැකිය හැකි ය. ඒ නිෂ්පාදන හේතුවෙන් පැරැණියන්ට වඩා වර්තමාන මිනිස් පරම්පරාවට සැප-පහසුවෙන් ජීවත් වීමේ හැකියාව තිබෙන බව පිළිගත යුතු ය.
බෝසතාණන් වහන්සේ තමන්ගේ ම ජීවිතය, නොයෙක් විධියේ අතිශය දුෂ්කර අත්හදාබැලීම්වලට භාජන කරමින්, අවුරුදු හයක් තිස්සේ ගෙන ගිය පර්යේෂණය ‘ආර්ය’ පර්යේෂණයක් හැටියට නම් කැරුණේ ඒ පර්යේෂණයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබුණායින් පසු ව යි. උන් වහන්සේගේ පරමාර්ථය ඉෂ්ට වීමෙන් පසු ව යි.
ඒ කියන්නේ, තමන්ගේ ම අවිද්‍යාව නිසා භවය තුළ හිර වී දුක් විඳින මිනිසා බුදු දහම තුළ හඳුන්වන්නේ ‘පෘථග්ජන’ කියා ය. ඒ පුද්ගලයා ම භව දුකෙන් නිදහස් වූ විට, හඳුන්වනු ලබන්නේ ‘ආර්ය පුද්ගල’ කියා ය. උන් වහන්සේ ගෙන ගිය අත්හදාබැලීම තුළින්, තමන් වහන්සේ ද සදහට ම භව දුකින් නිදහස් වූ ආර්ය තත්ත්වයට පත් වූ නිසාත් ඒ අත්හදාබැලීම, උන් වහන්සේ කියා දෙන විධියට අනුගමනය කරන ඕනෑ ම පෘථග්ජනයකුට, භව දුකින් සදහට ම නිදහස ලබන ආර්ය තත්ත්වයට පත් වීමේ හැකියාව සහතික කැරෙන නිසා, ඒ පර්යේෂණ ක්‍රමය ‘ආර්ය’ නමින් හැඳින්වෙයි. එයින් අදහස් වන්නේ නැහැ, අප හැමෝම හය වසරක් වන ගත ව, දුෂ්කර ක්‍රියාවේ යෙදිය යුතු ය කියා.
පටිපදා යනුවෙන් ඒ සඳහා පිළිපැදිය යුතු, අනුගමනය කළ යුතු මාර්ගය ඉතා පැහැදිලි ලෙස, ඉතා කෙටියෙන් ලෝකයට ඉදිරිපත් කොට තිබේ. ජීවිත කාලය ම කැප කොට, විද්‍යාඥයන් අනාවරණය කරගත්, භෞතික, රසායනික, විද්‍යුත් න්‍යාය ධර්ම, දවසෙන්-දෙකෙන් උගෙන ක්‍රියාවට නංවන හැටි අද දැකිය හැකියි නේද?
‘නවීන’ ය කියන විද්‍යාඥානයේ උපරිම ඵලය නෙළාගත හැකි වූයේ, ගත වූ විසි වන සිය වස තුළදී ය. ඒ වන විට, විද්‍යාව විසින් මනුෂ්‍ය ජීවිතයට සලසා දුන් සුව-පහසුව, සැප-සම්පත, සෙත-ශාන්තිය කෙබඳු ද කියනවා නම්, මානව සත්ත්වයා මහ පොළොව මත පහළ වී, 20 වන සිය වස දක්වා, මිනිසා අතින් ඝාතනය වූ මුළු මිනිස් සංඛ්‍යාව මෙන්, දෙගුණයක් ම සමූහ වශයෙන් ඝාතනය වූයේ, විද්‍යාඥානයේ සහාය ඇති ව ගෙන ගිය, ‘පළමුවන හා දෙවන ලෝක යුද්ධ’ කියන මිනිස් සංහාරය තුළින් බව ගණන් බලා තිබේ.
අද වන විට, විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵලය, මිනිසා මෝහයෙන් හා වෛරයෙන් උසිගන්වා, න්‍යෂ්ටික අවි හරඹයකට තල්ලු කිරීම, ලෝක ස්වභාවයේ අවශ්‍යතාවක් වූ, කල්ප විනාශය ඉක්මන් කිරීමේ සැලැස්මට දායක වීම බව මනා සේ පැහැදිලි ය.
බෝගොඩ ප්‍රේමරත්න
උපුටා ගැනීම යව්වනයේ සගරාව නමස්කාර වෙතිනි..
0 comments:
Post a Comment