නමෝ බුද්ධාය!

ප දන්නා කාලයේ සිට වෙන කවරදාටත් වඩා ධර්මය ගැන කතාබස් කිරීමේ උනන්දුවක් වර්තමානයේ පවතින බව පැහැදිලි ව පෙනෙන කරුණකි. එය යහපත් නිමිත්තක් ලෙස සැළකිය හැකිය.

Read more »

සදහට ම දුකෙන් මිදීම බුදුරදුන්ගේ අත්හදා බැලීම

විද්‍යාඥයන්ගේ පර්යේෂණවල පරමාර්ථයත්, බුදු රදුන්ගේ ‘අරිය පර්යේෂණයේ’ පරමාර්ථයත්, ඒ සඳහා අනුගමනය කළ ක්‍රම-වේදවල වෙනස හා එයින් මනුෂ්‍ය වර්ගයාට ලැබී තිබෙන ප්‍රතිඵල අතර වෙනසත් සලකා බැලීමකි මේ.

Read more »

ලොව ප්‍රථම රහත් සඟ සමුළුව පැවැත්වූ නවම් පුර පොහෝ දිනය



අද නවම් පුරපසළොස්වක පොහෝ දිනයයි. මෙම උතුම් පුන් පොහෝ දිනය නිමිති කරගෙන අද ඔබ සිල්සමාදන්ව සිටිනවා විය හැකිය. නැතිනම් වෙනත් ආගමික සද්ක්‍රියාවක නිරත වෙමින් සිටිනවා විය හැකිය.

Read more »

බුදුදහමෙහි අගය ඇමෙරිකානුවන්ට දැනේ


පසුගිය වසර කිහිපයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තරුණ පිරිස් අතර බුදුදහම පිලිබඳ ඇති උනන්දුවෙහි නව වර්ධනයක්
ඇතිවී තිබෙන බව වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක මහරගම ධම්මසිරි නාහිමියන් පවසති.

උන්වහන්සේ මෙසේ පවසන්නේ වොෂින්ටන් විහාරස්ථානයේ පැවැත්වෙන භාවනා පන්ති සඳහා සහභාගීවීමට තරුණ ඇමෙරිකානුවන් දක්වන උනන්දුව සලකා බලමිනි.





වොෂින්ටන් නගරයේ පාසල් වලත් විශ්ව විද්‍යාල වලත් ඉගෙනුම ලබන සිසුන් සහභාගීවන භාවනා පන්ති සහ බෞද්ධ අධ්‍යාපන වැඩ සටහන් කිහිපයක්ම විහාරස්තානයේදී පැවැත්වෙයි.

අග්ගමහා පණ්ඩිත මඩිහේ පඥාසීහ මහනා හිමියන් විසින් 1965දී ස්ථාපිත කරන ලද වොෂින්ටන් බෞද්ධ විහාරය ඇමෙරිකාවේ ආරම්භ කළ ප්‍රථම ථෙරවාද විහාරස්ථානයයි.

Read more »

භාවනාව මගින් ජාන සැකස්ම වෙනස් වන බව හෙළිවේ



භාවනාව මගින් ශරිරයේ රසායනික ක්‍රියාකාරිත්වය වෙනස්
කොට යහපත් සෞඛ්‍ය ප්‍රතිඵල අත් කර දෙන බව පර්යේෂණ
කණ්ඩාය සොයා ගනි.

භාවනාව මගින් යහපත් සෞඛ්‍ය ප‍්‍රතිඵල අත් කරදෙන බවට වන විශ්වාසයන් මැද එය විසින් ශරීරයේ රසායනික ක‍්‍රියාකාරීත්වය වෙනස් කරන බව තහවුරු කිරීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.



    ඇමරිකාවේ විස්කොන්සින්හි, ස්පාඤ්ඤයේ සහ ප‍්‍රංශයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් අනාවරණය කර ඇත්තේ එළඹ සිටි සිහියෙන් යුක්තව සිටින භාවනාවක් අභ්‍යාස කරන පුද්ගලයෙකුගේ ශරීරයේ ජාන සැකැස්ම වෙනස් වන බවයි.



මෙම පර්යේෂණය සඳහා ඔවුන් පුහුණු භාවනානුයෝගීන් පිරිසක් දිනක කාලයක් තුළ භාවනාව අභ්‍යාස කිරීමට යොදවා ඇති අතර සාමාන්‍ය පිරිසක් නිහඬ සහ සන්සුන් කාර්යයන් සඳහා යොදවා තිබේ.



ආරම්භක අවස්ථාවේදී දෙපිරිසේ ජාන සැකැස්මේ වෙනසක් නොතිබී ඇති නමුත් භාවනාව කරගෙන යාමේදී ජාන නියාමනය කරන රසායනිකන්ගේ වෙනසක් සිදුවී ඇති අතර කෝපාවිෂ්ඨ බවට බලපාන ජානයන් අඩුවී ඇතැයි වාර්තා වේ.



මෙමගින් මානසික පීඩාකාරී තත්වයක සිට ඉක්මනින් යථා තත්වයට පත්වීමට අවකාශ සලසබ ව පර්යේෂකයින් පවසති. පර්යේෂණ කණ්ඩායම් ප‍්‍රධානි රිචඞ් ජේ. ඬේවිඞ්සන් පවසා ඇත්තේ මෙය භාවනාව මලින් ශරීරයේ රසායනික සංයුතිය වෙනස් වන බව තහවුරු කළ පළමු පර්යේෂණය බවයි.


මෙම පර්යේෂණ ප‍්‍රතිඵල ඉදිරි ප‍්‍රතිකාර ක‍්‍රම ගණනාවක් සඳහා භාවිතා කිරීමට හැකිවනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කර තිබේ.

- බුදු දහම පිටුවෙනි - 

Read more »

සදාචාරවත් සමාජයක් උදෙසා බුදු වදනින් බිඳක්

"ධම්ම කාමෝ භවං හෝතී-ධම්ම දෙස්සී පරාභවෝ"යන පරාභව සූත්රයේ සඳහන් ගාථා පාඨයට අනුව ධර්මය කැමති තැනැත්තා දියුණු වන බවත් ධර්මයට අකමැති තැනැත්තා පිරිහෙන බවත් එම සූත්රය ආරම්භයේදීම බුදුරදුන් විසින් දේශනා කොට ඇත.දියුණුවට කැමති පුද්ගලයා ධර්මයට අනුකූලවම සිය චර්යා පද්ධතිය සකස් කරගත යුතු බව කිඹුල්වත් පුරදී සුදෝවුන් රජු අරබයා දේශනා කරන ලද "ධම්ම චරෙ සුචරිතං-නතං දුච්චරිතං චරේ"යන ධම්මපද ගාථාවද උදාහරණ කොට පෙන්වා දිය හැක.


Read more »

විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බලය


පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක්‌ කැමතියි. ඒකට හේතුවක්‌ තියෙනවා. ඒ සිත සමාධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක්‌ ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක්‌ කියනවා වගේ. ඇත්තටම මේ ගලා බසින දිය දහරාවට එහෙමත් නැතිනම් කඩා හැලෙන දිය ඇල්ලකට සොබා දහමේ රහස්‌ ස`ගවා ගෙන ඉන්න පුළුවන්ද...? ඔව්....

Read more »

ජීවිතේ සාර්ථක කර ගැනීමට ඇති මාවත..

සම්මා සම්බුද්ධස්ස

කාරුණික පින්වත්නි,

ලොව වෙසෙන කවරකු හෝ වේවා නිරන්තරයෙන් සිහි කළ යුතු සිහියේ තබා ගත යුතු කරුණු කීපයක වප් පුර පසළොස්වක පෝදා ධර්ම දේශනාවෙන් විස්තර කර දීමට බලාපොරොත්තු වෙමි.

Read more »

සැදෑවතුන් හදුනාගමු

සම්මා සම්බුද්ධස්ස

දස්සනකාමෝ සීලවතා
සද්ධම්මං සෝතු මිච්ඡති
විනෙය්‍ය මච්චේර මලං
සවෙ සද්ධෝති වුච්චති






පින්වත්නි,

    සිල්වත් ගුණවත් අය දකිනු කැමැති වීම,ධර්මය අසනු කැමති වීම හා පරිත්‍යාගශීලිත්වය යන මෙම කාරණාත්‍රයෙන් යුක්ත වන පුද්ගලයා සැදැහැවතෙකැයි කියනු ලැබේ.යනු ඉහත මාතෘකා කරගත් ගාථාවේ අදහසයි.

ශ්‍රද්ධාව සෑම පින්කමක් කිරීමෙහිලා පදනම වෙයි.හොඳ ගොඩනැගිල්ලක් තැනීමට නම් පදනම ශක්තිමත් විය යුතුය.එසේම කුමන ආකාරයේ පින්කමක් කිරීමට වුවත්,ශ්‍රද්ධාව නමැති පදනම ස්ථිරව තිබිය යුතුය. එසේ නැත්නම් තනනු ලබන ගොඩනැගිල්ල ඇද වැටෙන්නාක් මෙන් කරනු ලබන කවර නම් පින්කමකින් වුවත් උපරිම ඵල නෙළා ගැන්මට හැකියාව නොලැබෙයි.

‘ශ්‍රද්ධාව’ යන්නෙහි නියම තේරුම ‘අවබෝධයෙන් යුත් විශ්වාසය ‘ යන්නයි. භක්තිය කියා ද එය කිව හැකිය. එහෙත් එය අන්ධ භක්තිය නොව බුද්ධිය සමඟ යන භක්තියයි .අන්ධ භක්තිය බුදුදහම ඉඳුරාම ප්‍රතික්ෂේප කරයි.

යම් අදහසක් මතයක් හෝ කාරණයක් බෞද්ධයා විසින් පිළිගත යුත්තේ මනා පරික්ෂණයකින් පසුවයි. රන්කරුවා දැවීමෙන් රන් පරික්ෂා කරන්නාක් මෙන් නොව විමසීමෙන් පසු පිළිගත යුතු යැයි බුදුරජාණන් වහන්සේ විමසීමෙන් පසු යම් තීරණයකට බැසගත යුතු බව එයින් පැහැදිලි වේ. යාච්ඤාවෙන් පුද පූජා පැවැත්වීමෙන් ශාස්තෘවරයා කෙරෙහි දක්වන අචල භක්තියෙන් විමුක්තිය ලබාගත හැකිවේ යැයි,ඇතැම් ආගම් වල ඉගැන්වේ. එහෙත් බුදුදහමේ එවැනි ඉගැන්වීම් ඉඳුරාම ප්‍රතික්ෂේප කරයි. බුදුන් වහන්සේ දේශනා කළේ “මාගේ ධර්මය මෝඩයින්ට නොවේ. බුද්ධිමතුන්ටය” කියා යි. බුදුවරු මග කියා දෙන්නෝය. ඒ අනුව අප අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ යුතුය. ඒ මග යා යුතුය.

සප්තාර්ය ධන අතර ශ්‍රද්ධාව පළමුවන ධනයය. එය භෞතික ධනයක් නොවේ.අධ්‍යාත්මික ධනයකි. යමෙකුගේ චිත්ත සන්තානයේ ත්‍රිවිධ රත්නය පිළිබඳ අචල විශ්වාසයක් පවතී නම් ඒ නිසා ඔහුට අවශ්‍ය නොයෙක් නොයෙක් පින්දහම් කරගත හැකිවේ.

සැදැහැවත් පුද්ගලයා හැඳින ගැනීමේ ලක්ෂණ තුනක් මුලින් ඉදිරිපත් කළ ගාථාවෙහි දැක්වේ. එයින් පළමුවැන්න සිල්වතුන් දැකීමේ කැමැත්තයි. එසේ කැමැත්ත ඇති වන්නේ සීලය කුමක්ද? කියා දන්නා සීලය අගය කරන්නට පිළිවන් තැනැත්තාටයි. කය හා වචනය දෙක සංවර කර ගැනීම සීලයයි. එනම් කයින් සිදුවන අකුසල් වලින් හා වචනයෙන් සිදුවන අකුසල් වලින් වෙන්වීමයි.පංචවිධ දුශ්චරිතයෙන් වෙන් වීම මෙයින් අදහස් කෙරෙයි.

දිනපතා රැකිය යුතු බෞද්ධයාගේ නිත්‍ය ශීලය වනුයේ පංච ශීලයයි. පංච ශීලය යනු නීතියක් හෝ විධානයක් නොවේ. මෙහි කිසිදු බල කිරීමක් නැත.මෙහි ඇතුළත් වන්නේ බෞද්ධයාගේ ශික්ෂණයට අදාළ කාරණා පහක් පිළිගැනීමට කරන ඇරයුමකි.

සමාජ සුබ සාධනයට අවශ්‍ය සතුට සමගිය සමාදානය ඇති කරලීම සඳහා සහභාගිවීමට කරන කැඳවීමක් මෙයින් ද්වනිත වේ.පළමුවන සිල්පදය කියන බෞද්ධයා පොරොන්දු වන්නේ පණ ඇති සතුන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකීමයි.ජීවියෙකුට කවර හෝ අන්දමේ හිංසා පීඩාවක් නොවන අන්දමින් හැසිරීම, මෙයින් අදහස් කෙරෙයි.තමන්ගේ ජීවිතයට තමන් යම් තරමක් පි‍්‍රය කරන්නේ නම් අනුන්ගේ ජීවිත ගැන ද එසේ කල්පනා කිරීමට මෙයින් සිත යොමු කරවයි.

“අත්තානං උපමං කත්වා න හනෙය්‍ය න ඝාතයේ”තමන් උපමා කොට අනුනට හිංසා පීඩා නො කළ යුතු බව ඉන් ඉගැන්වෙයි.

එසේ උගන්වා ඇත්තේ් හිංසාවට ලක්වන සත්ත්වයාට පාඩුවක් අලාභයක් සිදුවන්නාක් මෙන් ම එය සිදු කරන්නාටද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන බැවිනි.

ඔහුට මෙලොව දී පමණක් නොව පරලොවදීද අනන්ත දුක්වලට භාජනය වීමට සිදුවේ.දෙවැනි ශික්ෂා පදය සමාදන්වීමෙන් කරන්නේ නුදුන් දෙය ගැනීමෙන් වැළකීමයි.

තමන්ට අයිති යමක් යමෙකු පැහැර ගැනීම තමාට දුක් දොම්නස් දනවන සුළු වන්නේ යම් සේද අනුන්ගේ දේපළ පිළිබඳවද තත්ත්වය එසේම යයි සලකා අනුන්ගේ දේපොළ රැකදීමට පොරොන්දු වීම මෙයින් අදහස් කෙරෙයි.

තෙවැනි සිල් පදය සමාදන්වීම ලිංගික විෂමාචාරයෙන් වැළකී සිටීමට උගන්වයි.මෙමගින් ස්වකීය පසිඳුරන් පිනවීමෙහිලා අනුන්ගේ නිදහසට බාධා නොකළ යුතු බව උගන්වයි.

සිවුවැනි සිල්පදය පිය තෙපුල් පැවසීමට යොමු කරවන්නකි.“සම්මා වාචා”යනුවෙන්ද උගන්වන්නේ මෙයයි.බොරු කීමට වැඩි තරම් වෙනත් පාප කර්මයක් නැත.කථා කළ යුත්තේ සත්‍ය වචනයයි. මිහිරි වචනයයි. එසේ නොමැති නම් නිශ්ශබ්දතාවය ඉතා යහපත් ය.

මනස දුර්වල කිරීමට හේතු වන ද්‍රව හා ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමේ සිල් පදය සමාදන් වීම පස් වැන්නයි. මත් උවදුර මුළු ලෝකයටම බරපතළ තරජනයක් වී තිබේ.කලකට ඉහත මත් උවදුරට ගොදුරුවූයේ වැඩිහිටි පෙළයි.

ශීඝ්‍රයෙන් ළමා පෙළ ඒ කෙරෙහි ඇබ්බැහිවෙමින් පවතින බව පෙනේ.එබැවින් මෙම මත් උවදුර සමස්ත මානව සමාජයම වසා පැතිරී සිටින ඝන අඳුරු වලා පටලයක් වැන්න.එයින් දුරුවීම තමාට මෙන්ම මුළු සමාජයටද මහත් සැනසීමකි.සැදැහැවතාගේ තවත් විශේෂ ලක්ෂණයක් ලෙස “බණ ඇසීමේ කැමැත්ත” පෙන්වා දිය හැකිය.

බණ ඇසීමට කැමැති වන්නේ බණ දහම් ගැන රුචියක් ඇති තැනැත්තාය.බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් කල් මුළුල්ලේ දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස දෙසු සුවාසු දහසක් ධර්මස්කන්ධය ධර්මය ලෙස සැලකෙයි.

දහම් ඇසීමක් නොමැති නම් බෞද්ධයා පින් දහම් කිරීමට නො පෙළඹෙයි.

ධර්මයට කැමති පුද්ගලයා දියුණු වන බවත් ධර්මයට අකැමැති වන තැනැත්තා පිරිහෙන බවත්,පරාභව සූත්‍රය ආරම්භයේ ම දක්වා තිබේ.

සැදැහැවතෙකු සතු අනෙක් ලක්ෂණය වන්නේ පරිත්‍යාගශීලිත්වයයි.මසුරුකම දුරුකිරීම ත්‍යාගශීලි බවේ ලක්ෂණයයි.මනුෂ්‍ය සන්තානය අපවිත්‍ර වන්නේ රාග, ද්වේශ, මෝහාදි අකුසල් නිසාය. එයින් ප්‍රධාන අකුසල මූලය තෘෂ්ණාවයි.තෘෂ්ණාව යටපත් කළ හැක්කේ පරිත්‍යාගයෙනි.එබැවින් පරිත්‍යාගය හෙවත් දන්දීම කෙරෙහි විවිධ කුසලකර්ම අතර මුල් තැන ලැබෙයි.

එබැවින් හැකි පමණින් පරිත්‍යාගය කෙරෙහි යොමු වී පස් පව් දස අකුසලයන්ගෙන් වැළකී ඉතා අපහසුවෙන් ලබා උපන් මෙම මනුෂ්‍ය ජීවිතය මෙලොව පරලොව වශයෙන් සාර්ථක කරගැනීම සඳහා සැවොම උනන්දු විය යුතුය.

තෙරුවන් සරණයි

රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති සහ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ අපවත් වී වදාළ අත්තුඩාවේ සිරි රාහුල මහා නා හිමියන් අපවත් වී 2013 .12.01 වනදාට දෙවසරක් සපිරේ 2006.01.13 වනදා බුදුසරණ පුවත්පතෙහි පළවූ  ලිපියකි.

අත්තුඩාවේ
සිරි රාහුල මහා නා හිමි

Read more »

හොදට හැදුණොත් ලබයි බුහුමන්...


බුදු දහම අනුව, ලෝකෝත්තර තත්ත්වයට පත්වීම සංසාර විමුක්තියයි. ඒ සඳහා පින් තියෙන්නෙ ඕනෑ. පින් තියෙන්නට නම් පින් කරන්නට ඕනෑ. ගාථාවේ “පුඤ්ඤකරා” යන පදයෙන් කියන්නේ පින් කිරීමයි. පින් කියන්නේ යහපත් ක්‍රියාවන්ටයි. පින් කියන වචනයට අටුවාවෙහි දෙන නිර්වචනය, “ චිත්තං පුනාතීති පුඤ්ඤං “ යනුයි. එහි තේරුම ‘පින්’ කියන්නේ සිතෙහි ඇති වන සතුටයි.
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“යෙ ගහට්ඨා පුඤ්ඤකරා
සීල වන්තා උපාසකා
ධම්මේන දාරං පෝසෙන්ති
තං නමස්සාමි මාතලී”


පින්වත්නි ,

           බුදු දහම අනුව ජීවිතය හැඩ ගස්වා ගෙන ලෞකික, ලෝකෝත්තර සුව ළඟා කර ගන්නට උත්සාහ කරන බෞද්ධ පින්වතුන්ට මෙන්ම සැපවත් ජීවිතයක් ගත කරන්නට කැමැති ඕනෑම සත් පුරුෂයකුට බුදු දහමෙන් ලබා ගත හැකි ශාන්තිය ඉතා විශාලය.ලෞකික ජීවිත ගත කරන පෘථග්ජන හැම කෙනකුම සැප විඳින්නට කැමැතියි.බුදු දහමෙන් ඉදිරිපත් වන්නේ ඒ සඳහා අනුගමනය කළ හැකි අර්ථවත් සාර්ථක දර්ශනයකි.

වර්තමාන සමාජයේ බණ දන්නා ,බණ අසනා පින්වතුන් බහුල වුවත්,ඒ බණ අනුව කටයුතු කරන අය විරල විය හැකියි.සමාජයේ ප්‍රශ්න වැඩි වෙලා,ජීවිතය දුකක් කරගෙන බොහෝ දෙනා පසුතැවිලි වන්නේ ඒ නිසයි. නිතර බණ අහන එක ඉතාම හොඳ දෙයක්. ඒත් එසේ අසන ධර්මයෙන් ප්‍රයෝජන ලබා ගන්නට නම් ඒ ධර්මය සිතේ ධාරණය කරගෙන ඒ ධර්මය අනුව ජීවිතය සකස් කර ගත යුතුයි.“සුනාථ ධාරේථ චරාථ ධම්මෙ”යන බුදු වදනින් පෙන්වා දී ඇත්තේත් එයයි.එ නිසා තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාභක්තිය උපදවා ගෙන ධර්මය අසා ඉන් ප්‍රයෝජන ලබා ගැනීමට සිතට ගැනීම හොඳයි.

අද ධර්ම දේශනය සඳහා මාතෘකාව වශයෙන් අප තෝරාගත්තේ සංයුක්ත නිකායේ සක්ක සංයුක්තයේ “ සක්ක නමස්සන සූත්‍ර” දේශනාවේ එන ගාථාවක්.බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා කළ දේශනයක් වන මෙහි විස්තර වන්නේ, දෙදෙව් ලොවට අධිපති ශක්‍රදේවේන්ද්‍රයාත්, ඔහුගේ රියැදුරා වූ “මාතලී” දිව්‍ය පුත්‍රයාත් අතර ඇති වූ සංවාදයක්.ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ආදි මනුෂ්‍යයන් හා සතරවරම් දෙවිවරුන් ඇතුළු සමස්ත දේව ප්‍රජාව නිරන්තරයෙන්ම ශක්‍ර දේවේන්ද්‍රයාට නමස්කාර කරන බව පවසන,“මාතලී”එවන් වූ ශක්‍රයාගෙන් වැඳුම් ලබන්නෝ කවරහු දැයි මාතලී “ශක්‍රයාගෙන් විමසා සිටියි. එහිදී “ශක්‍රයා” දෙන පිළිතුරු ඉහත අප සඳහන් කළ ගාථාවයි. එහි තේරුම, “මාතලිය, පින් කරන, ශීලවන්ත වු දැහැමි අඹුදරුවන් පෝෂණය කරන ගෘහපතියන්ට (ගිහියන්ට) මම නමස්කාර කරමි” යනුයි.

ශක්‍රයාගේ මෙම පිළිතුර බොහෝම ගැඹුරින් සිතන්නට අප පොළඹවන්නක් බව පළමුවෙන්ම තේරුම්ගත යුතුයි. ඈත අතීතයේ සිටම දෙවියන්ට වැඳුම් පිදුම් කිරීමේ පුරුද්දක් ජනතාව තුළ තියෙනවා.

අපෙන් වැඳුම් ගන්න දෙවිවරුන් ශක්‍රයාට වැඳුම් පිදුම් කරන බවයි.“මාතලී”කියන්නෙ ඊළඟට ඒ ශක්‍රයාම කියන්නේ. තමන් දැහැමි, සිල්වත් ගිහියන්ටත් වඳින බවයි. ශක්‍රයාගෙන් වැඳුම්පිදුම් ලබන්නට හැකියාව ලබා ගත හැකි මනුෂ්‍යයා දෙවියන්ට වැඳුම් පිදුම් කරන්නේ ඇයි?අප තුළ දැහැමි බව,සිල්වත්කම අඩු නිසා නේද කියල කිව්වොත් ඒක වැරදි නෑ.එහෙම නම් අප සිතට ගත යුත්තේ විශ්වයේ ජීවත්වන උතුම්ම සත්ත්ව කොට්ඨාසය වන අප ඒ උතුම්කම රැක ගැනීමටයි.

බුදු දහම අනුව,ලෝකෝත්තර තත්ත්වයට පත්වීම සංසාර විමුක්තියයි.ඒ සඳහා පින් තියෙන්නෙ ඕනෑ.පින් තියෙන්නට නම් පින් කරන්නට ඕනෑ. ගාථාවේ “පුඤ්ඤකරා” යන පදයෙන් කියන්නේ පින් කිරීමයි.

පින් කියන්නේ යහපත් ක්‍රියාවන්ටයි.පින් කියන වචනයට අටුවාවෙහි දෙන නිර්වචනය,“චිත්තං පුනාතීති පුඤ්ඤං “ යනුයි. එහි තේරුම ‘පින්’ කියන්නේ සිතෙහි ඇති වන සතුටයි.

ඒක තව දුරටත් විමසා බැලුවොත්,කිසි යම් ක්‍රියාවකින් තුන් සිත පැහැදේ නම්,සතුටට පත්වේ නම් එය සැබෑ පිනක් බව තේරුම් ගන්න ට පිළිවන්. තුන් සිත කියන්නෙ යම් ක්‍රියාවක් කරන්නට පෙර, කරනවිට, සහ පසුව මෙනෙහි කරන විට ඇති වන සිත් වලටයි.

පූර්ව චේතනා,මුඤ්චන චේතනා,අපර චේතනා යනුවෙන් බුදු දහමේ ඉගැන්වෙන්නේ එයයි.අයහපත් ක්‍රියාවකින් කවදාවත් තුන් සිත සතුටු වෙන්නෙ නෑ.අයහපත් ක්‍රියාවකින් කෙනෙකු සතුටක් ලැබිය හැකි වුවත්, එය තාවකාලිකය. එහෙත් යහපත් ක්‍රියාවකින් ලබන සතුට මෙලොව පරලොව දෙකේම ලැබෙනව.


“ඉධ මෝදති- පෙච්ච මෝදති

කත පුඤ්ඤෝ උභයත්ථ මෝදති
පුඤ්ඤං මේ කතංති මෝදති
භියෝ මෝදති සුග්ගතිං ගතෝ”

යන ගාථාවෙන් පැවසෙන්නේ පින් කළ තැනැත්තා මේ ලෝකයෙහිත්,පරලොවෙදීත් යන දෙකෙහිම සතුටුව සැප විඳින බවයි.

පින් කරන්නට ධනය ම වුවමනා නෑ.පුණ්‍ය චේතනාවයි වුවමනා කරන්නෙ.පිනක් මහත්ඵල මහානිසංස වන්නේ පුණ්‍ය චේතනාව අනුව මිස වැය කරන මුදල හෝ ශ්‍රමය නොවන බවයි.බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ.

එහෙම බලනකොට අපට ඕනෑ තරම් පින් රැස් කරගන්නට පුළුවන්.සිත,කය,වචනය සංවර කරගෙන, අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල සිතිවිලි මුල් කරගෙන කරන හැම කාර්යයක්ම මහත්ඵල මහානිසංස පිනක්.

“ සීලවන්තා “ කියන්නෙ සිල් රැකීම, පන්සිල්, අටසිල්, දසසිල්, ආදි වශයෙන් ගෘහස්ථ ශීලයේ ප්‍රභේද තියෙනව. අඩුම තරමින් හරියාකාර පන්සිල් රකිනවා නම් එය උසස්ම ශිලවන්තකමක් ලැබීමට හේතු වන බව සිතා ගන්නට ඕනෑ. ඒක අමාරු දෙයක් නෙමෙයි.

ශීලයෙන් සිත කය වචනය සංවරවෙනව. සංවරකම පෞද්ගලික ජීවිතයට වගේම සමාජ ජීවිතයටත් හිතකරයි.
“ධම්මේන දාරං පෝසෙත්ති “යන්නෙන් කියැවෙන්නේ දැහැමින් අඹුදරුවන් පෝෂණය කිරීමයි.එය යහපත් පවුල් ජීවිතයකට මෙන්ම යහපත් සමාජයකටත් හොඳ අත්තිවාරමක්. දැහැමෙන් අඹු දරුවන් පෝෂණය කළ යුතු ආකාරය සිඟාලෝවාද සූත්‍රයෙන් මනාව පැහැදිලි කර දී ඇති බව මතක් කරන්නට කැමතියි.එක් එක් පාර්ශ්වයකින් අනෙක් පාර්ශ්වයන්ට ඉටු විය යුතු යුතුකම් සහ වගකීම ඉතාම ප්‍රායෝගික විදියට එම සූත්‍ර දේශනාවෙන් පෙන්වා දී තිබෙනවා පමණක් නොවෙයි,ඉන් ලැබෙන යහපත් ප්‍රතිවිපාකත් පෙන්වා දී තිබෙනව.

මේ ආකාරයට තමන්ගේ ජීවිතය සකස් කරගත් ගිහියන්ට පවා ශක්‍රයා නමස්කාර කරන බවයි.ඉහත ගාථාවෙන් කියැවෙන්නේ ශක්‍රයාගෙන් වැඳුම් ලැබුණත් නැතත් එබඳු දිවියකට නැඹුරුවීම දෙලොව ජය ගන්නටත් එමගින් සසර දුකින් මිදී අමා මහ නිවන් සුව ළඟා කර ගන්නටත් හේතුවන බව සිතට ගැනීම හොඳයි. ධර්ම ශ්‍රවණයේ ප්‍රතිඵල ලැබෙන්නේ එය ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමෙනුයි.එබැවින් මේ උතුම් පොහෝ දිනයේදී මේ අගනා දහම් සිතිවිලි සිතට ගෙන දිවිමඟ සරුකර ගෙන සසර දුකින් මිදෙන්නට උත්සාහ ගන්න.

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා

කතරගමකිරිවෙහෙරරාජමහා විහාරාධිපති ,රුහුණු මාගම්පත්තුවේ ප්‍රධානසංඝනායකව වැඩ විසූ,උපාධ්‍යාය, ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන්ගේ තෙමස් ගුණ සමරුව නිමිත්තෙනි.2006.04.13වනදා බුදුසරණ පත්‍රයේ පළවූ ලිපියකි.

Read more »

කරුමෙයි වාසනාවයි

මෙයින් කර්මය හා කර්ම විපාක සරු ලෙස පැහැදිලි කැරෙයි.

‘කර්මය’ යන සංස්කෘත වචනය ව්‍යවහාරික පහසුව පිණිස ‘කරුමය’ ලෙස තත්භව ක්‍රමයට සකසාගත්තාක් මෙන්, බැලූ බැල්මට පෙනෙතත්, ව්‍යවහාර වන අන්දම දෙස බලන කල ‘කරුමය’බෙහෙවින් වෙනස් අර්ථයක යෙදෙන වචනයකි.ඒ අනුව ‘කර්මය’යනු,‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි’යන බුදු වදනේ සඳහන් කර්මය වේ. එය වෙනත් වචනවලින් කියතොත්, ඉන්ද්‍රිය සය මඟින් සිතට යොමු වන අරමුණු,කය මෙහෙයවා ක්‍රියාවට නැංවීම ය. චේතනා යන වචනය එම සියලු වැඩපිළිවෙළ සඳහා ව්‍යවහාර වන්නකි. ‘කර්ම’ සිදු කළ විට ඒ වේලේ ම නොහොත් ඊට පසු කවර හෝ අවස්ථාවක විපාක විඳින්නට සිදු වේ.
කර්ම වනාහි පින්,කුසල් වශයෙන් ද පව්,අකුසල් වශයෙන් ද දෙවර්ගයකට බෙදා දැක්වේ.මෙයින් ‘පව්-අකුසල්’ ගොඩට වැටෙන කර්ම සඳහා විඳින්නට සිදු වන දුක් විපාක ‘කරුම’ ලෙසින් ද, පින් – කුසල් ගොඩට වැටෙන කර්ම සඳහා විඳින්නට සිදු වන සැප විපාක ‘වාසනාව’ ලෙසින් ද ව්‍යවහාර වන බව පෙනේ.
 පාප-අකුසල කර්ම විපාක විඳින විට ‘ඒක එයාගෙ කරුමේ’ කියා ද, පින්කුසල් සඳහා විපාක විඳින විට, ඒක එයාගෙ වාසනාව, කියා ද කීමෙන් ඒ බව පසක් වේ.රටකට, සමාජයකට විවිධ හේතු නිසා, වරින් වර යුද්ධ, ඍතු විපර්යාස, සාගත, වසංගත වැනි විපත් පැමිණේ. එබඳු අවස්ථාවල ඇතැමෙක් නොසිතූ ලෙස ඒවායින් ගැලවෙති. ඉන් පෙනෙන්නේ පින් – කුසල් කර ඇති අය, (වෙනත් අතීත කරුමයක් නැති නම්) වාසනාවන්ත වනවා පමණක් නො ව, පොදු විපත්වලින් ද ගැලවෙන බව නො වේ ද?
එක් එක් පුද්ගලයා උපතින් ම උරුම කරගෙන එන ලෙඩ රෝග ඇත. බලාපොරොත්තු කඩ වීම්, තම සේවය යට කර ඉහළ නිලධරයන් එහි ප්‍රතිඵල භුක්ති විඳීම්,තම ඉදිරි ගමනට විවිධ බාධා ඇති කිරීම් වැනි අමිහිරි අත්දැකීම් අප කාටත් ඇත. එබඳු අවස්ථාවල බොහෝ අය, “මේවා අසවල් අයගේ වැඩ” කියා අනුන් පිට වරද පටවති; එමඟින් තම සිතේ දුක් වේදනා තවත් වැඩි කරගනිති; එපමණක් නො ව, විශාල සතුරු පිරිසක් ද ඇති කරගනිති; ඔවුන්ගෙන් පළි ගැනීමට යෑම වැනි වැරදි කරති; මෙසේ තම පෙර ‘කරුම’ නොපිළිගෙන ක්‍රියා කර තව තවත් පාප කර්ම,අකුසල කර්ම සිදු කරගනිති;භවයෙන් භවයට පිරිහීම ම වැඩි කරගනිති.කරුම – දිග්ගස්සාගනිති.
පුහුදුන් අයට පමණක් නො ව බුදුන්, අග සව්වන්, රහතුන් වැනි, සියලු කෙලෙස් නැසූ උතුමන්ට ද ‘කරුම’ පල දී ඇත. ‘කර්ම – නියාම ධර්ම’ නඩුකාරයාට ඒ කවරකුගේ වත් ලොකුවක් පෙනුණේ නැත.
කර්ම නියාම ධර්මය නොබා මෙසේ කර්ම නඩුවල තීන්දු දෙන්නේ කවර වුවමනාවක් සඳහා ද? යන්න හොඳින් වටහාගත යුතු ය. සොබා දහමට වුවමනා කරන්නේ, සත්ත්වයා සසරෙහි රඳවා තබාගැනීමට ය. එයට ආධාර වන්නේ පින් සහ පව් ය. සොබා දහමින් ඒ දෙකට අනුබල ලැබේ. කවරකු හෝ සොබා දහම ගැන නොතකා, කුසල් කර සසරින් එතෙර වීමට උත්සාහ කරන විට සොබා දහම එයට විවිධ බාධා පමුණුවයි.
දරුණු දස මර සෙනඟක් හෙවත් කෙලෙස් දහයක් ඉදිරිපත් කර (1. කාමය, 2. අරතිය, 3.සා පිපාසාව, 4. තෘෂ්ණාව, 5. ථින මිද්ධය, 6. බිය, 7. සැකය, 8. ගුණමකු බව හා දැඩි බව, 9. වැරදි මඟින් ලබන යසස, 10. තමන් උසස් කොට අනුන් පහත් කොට සිතීම) සිතේ සටනක් අවුළුවයි. මේ නිසා සියලු කෙලෙසුන් පරාජය කරන්නට තරම් ධීර, වීර, අධිෂ්ඨාන පූර්වක මහා පුරුෂයන් පමණක් සසර ගමන නවතාගනිතත්, පිරිනිවන් පානා තුරු ම කර්ම නියාම ධර්මය ඔවුන් පසු පස හඹා යෑම නො නවත්වයි. (හඹා යෑමක් ලෙස කීවත් මෙය ඉබේ සිදු වන්නකි. සොබා දහම ය කියන්නේ ‘ඉබේ සිදු වීම’ මිස අනෙකක් නො වේ).
කරුමය හා වාසනාව - යන කරුණු දෙක වඩා හොඳින් වටහාගන්නට නම්; පින්, පව්, කුසල්, අකුසල් යන මාතෘකා යටතේ කර්ම බෙදා ඇති අන්දම වටහාගත යුතු ය.ඒ ගැන මඳ පැහැදිලි කිරීමකි,මේ.සත්ත්ව ලෝකයේ ඇසට නොපෙනෙන තරම් කුඩා සතුන්ගේ සිට මහා දැවැන්තයන් දක්වා, හැම සතකුට ම සොබා දහම දක්වන්නේ සමාන සැලකිලි ය.එබැවින් ඒ කවර හෝ සතකුට තමන් අතින් යම් හිංසාවක්, පීඩාවක්, මරණයක් සිදු වුණොත්,ඒ පවේ,අකුසලයේ, දුක් විපාක, සුදුසු අවස්්ථාව බලා විඳුවන පිණිස සුදුසු වැඩ පිළිවෙළ සකසා තැබීම,‘කර්ම නියාම ධර්මයේ’ වගකීම වෙයි. ඒ අනුව තමන් විසින් සිදු කරන ලද වරද, තමන් වෙත ද ආපසු ලැබෙන්නට සැලසෙයි.සාංසාරික විඤ්ඤාණ ධාරාව විසින් සත්ත්වයා ඒ ඒ භවවලදී මෙසේ කරන ලද පාප කර්ම සඳහා විඳිය යුතු කර්ම විපාක රැස් කරගෙන එනු ලැබේ. සුදුසු අවස්්ථාව බලා ඒවා ඉදිරිපත් කැරේ. එවිට ‘දතට දතක්’ යන න්‍යායයට අනු ව තමන්ට ද ‘කරුම’ ‘දුක්’ විඳින්නට සිදු වෙයි.
කවර හෝ සතකුගේ අවශ්‍යතා බලා හැඳිනගෙන, ඒ ඒ සත්ත්වයාට සතුට උපදවන ලෙස අවශ්‍ය දෑ පරිත්‍යාග කිරීම, උපකාර කිරීම, ආරක්‍ෂාව සැලසීම වැනි යහපත් ක්‍රියා කළ විට, ඒ සඳහා සිතේ කරුණාව හා මෛත්‍රිය පුරවාගත් විට, ඒවායේ පුණ්‍ය - කුසල විපාක ද සාංසාරික විඤ්ඤාණ ධාරාව විසින් රැස් කරනු ලැබ නිසි අවස්ථා එළඹි විට ඉදිරිපත් කැරේ. එවිට තමන්ට ද ‘සිනාවට සිනාවක්’ යන න්‍යායයෙන් සැප විඳින වාසනාව උදා වෙයි. කර්ම නියාම ධර්මයේ හැටි එහෙම යි.
‘පින් – පව්’ දෙක අනුව ‘වාසනාව සහ කරුම’ විඳින පුද්ගලයා එ මඟින් සංසාර ගමන දිග්ගස්සාගනී. තමන්ට ඉඳ හිට සැප, වාසනා, උදා වෙතත්, බහුල වශයෙන් විඳින්නට සිදු වන්නේ – කරුම දුක් බව වටහාගන්නට, සෑහෙන්නට දියුණු වූ නුවණක් අවශ්‍ය වේ. ඒ බව වැටහුණු අයකුට, සසර ගමන නවතාදමන්නට, නිවන පසක් කරන්නට බලවත් කැමැත්ත හා නොපසුබට උත්සාහය උදා කරගත හැකි වේ. එමඟින් කරුම හා වාසනා අලුතින් හට ගැනීම නවතාගත හැකි වේ. එවිට භව ගමන නතර වේ. සදා සැනසුම ‘නිවන’ ලද හැකි වේ.
ඒ සඳහා තැබිය යුතු පියවර කීපයකි මේ:දහම් පොත්පත් කියවීම,ඒවායේ ඇතුළත් කරුණු විමසා බැලීම, ධර්මධරයන් සමඟ සාකච්ඡා පැවැත්වීම වැනි මාර්ගවලින් ධර්මඥානය (සුත ධනය) වඩාගත යුතුªය. භාවනා මඟින් සිත මේච්චල් කරගත යුතු ය.කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් අන්දමට සියලු සතුන් වෙත නොනිඳා ගත කරන මුළු කාලය පුරා මෛත්‍රිය පැතිරවිය යුතු ය.මේ සියලු උත්සාහයේ ප්‍රතිඵල ඉක්මනින් බලාපොරොත්තු නොවී හෙමින් හෙමින් ළඟා කරගත යුතු ය.
තව ද,මෙකල ලෝක ජනතාව විසින් කරනු ලබන බලවත් වැරැදි හැඳිනගෙන ඒවායින් ගැලවෙන්නට වගබලාගත යුතු ය.ඉන් බලවත් ම වරදක් වන්නේ ‘මිනිසා සත්ත්ව ලෝකයේ අධිපතියා ය.ලොව එක ම උරුමක්කාරයා ය’කියා සිතාගෙන මිනිසුන් හැර අන් ඕනෑ ම සතකු අනවශ්‍ය නම් වනසාදැමීමට නොපැකිළීම ය. මිනිසකු අතින් සිදු වන පාප කර්ම හේතුවෙන් ඔහුට ඕනෑ ම සතකු ලෙස ඊළඟ භවයේ උපදින්නට සිදු වන බව දන්නේ නම් ඔහු පව් නො කරති. සතකු මරාදමන විට, තම අතින් මිය යන්නේ අතීත භවයක මිය ගිය තම පියා නොහොත් මව විය හැකි ය.
එහෙත් මෙකල මෙබඳු දහම්,හිස් ප්‍රලාප ලෙස සලකා පවෙහි ම ගැලෙන්නෝ බොහෝ ය. ඔහු සසර ගමනේදී පාවිච්චිය පිණිස දුක් අටු පුරවති;තමන්ට මෙලොවදී විඳීමට සිදු වන සියලු ව්‍යසන අන්‍යයන්ගේ වරදින් සිදු වන සේ සලකා ‘අයිතිවාසිකම්,වැඩි දීමනා’ ඉල්ලා පෙළපාළි යති; සටන් වදිති. මේ තත්ත්වය ද සොබාදහමේ නීතිය අනු ව ම සිදු වන්නකි.මේ ගෙවෙමින් පවතින කලියුගයේ ධර්මය වනගත වන බව නිශ්චිත කරුණකි. දැන් එය සිදු වෙමින් පවතින බව ප්‍රකට බැවින් නුවණැත්තෝ - පාප උගුලෙන් ගැලවෙන මං සොයත් වා!

මදුරසිංහ ගුණතිලක

Read more »

යළි ඉපදීම පිළිබඳ විමසා බැලීමක්

පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමි

පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් 2009දී ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වූ දේශනයක් ඇසුරෙන් මේ ලිපි පෙළ පළ වේ. මිනිසුන්ගේ මෙන් ම තිරිසනුන්ගේ ද යළි ඉපදීම් පිළිබඳ උදාහරණ මේ හිමියෝ ඉදිරිපත් කරති.
නැවත ඉපදීම පිළිබඳ තවත් වැදගත් ප්‍රශ්නයක් නම් නැවත ඉපදීමක් සිදු වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය යි. ඔබ භාවනාවේ යෙදෙනවා නම් මෙය ඔබට පැහැදිලි කරුණක් වෙනවා නිසැක යි. ඔබ එක් දවසක සිට තවත් දවසකට, ඔබ එක් වර්ෂයක සිට තවත් වර්ෂයකට, ඔබ එක් ජීවිතයක සිට තවත් ජීවිතයකට තල්ලු කරනු ලබන්නේ, මෙහෙයවනු ලබන්නේ කුමන හේතූන් විසින් ද යන්න ඔබට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඔබේ ප්‍රාර්ථනාවන් නැත් නම් අපේක්ෂා එහෙම නැත් නම් අභිලාෂයන් විසින් ඔබ දවසකින් තවත් දවසකට, අවුරුද්දකින් තවත් අවුරුද්දකට මෙහෙයවනු ලබන්නා සේ ඔබ එක් ජීවිතයකින් තවත් ජීවිතයකට ද ගෙන යනු ලබනවා.
බුදු රජාණන් වහන්සේ තෘෂ්ණාව ලෙස හැඳින්වූයේ මෙය යි. නිම නොවූ වැඩ රාජකාරි ලෙස ද ඔබට මෙය හඳුන්වන්න පුළුවන්.
නිදසුනක් විදිහට දැක්විය හැකි සිද්ධියක් පිළිබඳ කතාන්දරයක් මම දැන් ඔබට කියන්නම්. මේ සිද්ධිය විස්තර කර තිබුණු සඟරාව මම කියවූයේ අවුරුදු ගණනාවකට ඉස්සර යි. සිද්ධිය මේක යි:
මාග්‍රට් තැචර් මහත්මිය එංගලන්තයේ අගමැතිනිය ව සිටි කාලයේ, ගල් අඟුරු ආකර වසාදැමීම ඇගේ ආර්ථික ප්‍රතිපත්තියක් වුණා. මේ වන විට මේ ගල් අඟුරු ආකාරවලින් ලාභයක් නැහැ. ඒවා නඩත්තු කිරීම ආර්ථික වශයෙන් පාඩුවක් කියා තැචර් මහත්මිය සිතුවා. මා කියන්න යන සිද්ධියට සම්බන්ධ ගල් අඟුරු ආකරය කාඩිෆ් නගරයට ආසන්න ව පිහිටා තිබුණු ගල් අඟුරු ආකරයක්. පාඩු ලබන මේ අඟුරු ආකරයත් වසාදැම්මා. වසාදැමුවාට පසු වටේට කම්බි වැටක් ගැසුවා.
ගල් අඟුරු ආකරය තිබුණු ප්‍රදේශයේ ජීවත් වූ ජනයා, ඔවුන්ගේ බැළලියන් පැටව් ගසා, වැඩිපුර බළල් පැටවු බෝ වුණා ම, මේ බළල් පැටවුන් කම්බි වැටට උඩින් වසාදැමූ ගල් අඟුරු පතලට විසි කරන්න පුරුදු වී සිටියා. මෙය මේ විදිහට දිගට ම සිදු වෙමින් පැවතුණු අතර, අවුරුදු දහයකට විතර පසු ව මේ ගල් අඟුරු පතලේ තත්ත්වය පරීක්‍ෂා කිරීමට ඉංජිනේරුවන් පිරිසක් මේ ගැඹුරු පතලට බැස්සා. පතල කඩාවැටෙන්නට ඉඩ තිබෙනවා දැ යි පරීක්ෂා කර බැලීම ඔවුන්ගේ රාජකාරිය වුණා. ඔවුන් පතලේ, පතුලට බැස්සාම, අඩි ගණනක් උසට මැරිචිච බළලුන්ගේ මයිල්, ඇටසැකිලිවලින් පතලේ පතුල පිරී තිබෙන බව ඔවුන් දැක්කා. මේ සේරම පතල ඇතුළට විසි කළ බළල්ලු.
මේ වගේ ඉරණමකට පත් වූ බළල්ලු තම ජීවිතය බේරාගන්නට තැත් කරන බව ඔබ දන්නවා. ඉතා අපූරු සිදුවීම තමයි බළල්ලු විශාල ප්‍රමාණයක් පණ බේරාගෙන තිබීම. ඊටත් වැඩිය අපූරු ම දෙය තමයි: පණ බේරාගත්තු බළල්ලු බැළලියන්ට ජාතක ව අපූරු සත්ත්ව විශේෂයක් ලෙස සැලකිය හැකි බළල්ලු වර්ගයක් බෝ වී තිබීම. මේ අලුත් පරම්පරාවේ බළල්ලු අන්ධ යි; සහමුලින් ම අන්ධ යි. කන් ලොකුයි.
මේක මෙහෙම වුණේ කොහොම ද? ඒක හරිම පැහැදිලි යි. මීටර් සිය ගණනක් යට, පතල ඇතුළේ, පණ බේරාගත්ත බළල් පරම්පරාවට ජාතක ව උපන් අලුත් පරම්පරාවේ බළල් විශේෂයට ආලෝකය කොහොමටවත් දැකගන්න ලැබෙන්නේ නැහැ. හිරු එළිය හරි වෙනත් ආලෝකයක් පතලේ පතුලට වැටෙන්නේ නැහැ. මේ නිසා අලුත් පරම්පරාවේ බළල් ජාතියේ ඇස්වල වැඩීමක් සිදු වුණේ නැහැ. ඒ වෙනුවට කන් තමයි වැඩුණේ. ඒ මක් නිසා ද කිව්වොත් ඔවුන්ට කෑම බීම සොයාගෙන යන්න, සතුරන්ගෙන් බේරෙන්න, විරුද්ධ ලිංගිකයන් සමඟ සංවාදයේ යෙදෙන්න, අලුත් පරපුරක් බිහි කරන්න, මඟ පෑදුණේ පෙනීම නිසා නොවෙයි ඇසීම නිසයි; ශබ්දය නිසයි.
මේ නිසා අලුත් පරම්පරාව බෝ වෙන කොට වැඩිපුර ම වැඩුණේ කන්. මෙන්න මෙහෙම තමයි ඔබ මේ ජීවිතයෙන් තවත් ජීවිතයකට යන්න පොලඹවන්නේ; තල්ලු කරන්නේ. ඔබ පොලඹවන, තල්ලු කරන, මෙහෙයවන එම බලවේගය තමයි අභිලාශය. බුද්ධාගම ඒකට කියන්නේ තෘෂ්ණාව. අභිලාශයක් මුදුන් පත් කිරීමට, අලුත් නිර්මාණයක් කිරීමට තල්ලුව දෙන්නේ මෙන්න මේ අභිලාශයන් නැත් නම් මේ ජන්මයේදී නිම කරන්න බැරි වුණ වැඩ රාජකාරි හෙවත් නොනිමි මෙහෙවර. මේ සියල්ල කැටි කර දක්වන යෙදුම තමයි තෘෂ්ණාව.
ඔබත් අපත් සියලුම මනුෂ්‍ය වර්ගයාත් මෙහෙයවන මේ අභිලාශයන් නැත්නම් නොනිමි මෙහෙවර ඔබගේ මරණයෙන් කෙළවර වෙන්නේ නැහැ. මේ සකල බලවේග අඛණ්ඩව ඉදිරියට යනවා. එක් ජීවිතයකින් තවත් ජීවිතයකට යනවා.
මෙය මෙසේ සිදු වන්නේ කෙසේද? මේ ක්‍රියාවලිය මේ කිව් විදිහට සිදු වන්නේ කෙසේද යන්න දැනගැනීමට උනන්දු වන අයට මේ කාරණය වෙනත් උදාහරණයකින් කියා පාන්නට පුළුවන්.
ඔබ අඹ ගෙඩියක් කෑවාට පසු ඉතුරු වන ඇටය සමහර විට ඔබ අද ඔබේ වත්තේ පැළ කරන්න ඉඩ තිබෙනවා. මේ පර්ත්වල අඹ බොහෝම සරුවට වැඩෙනවා. අඹ ඇටයක් පැළ කළ පසු එය හැදී වැඩී ගෙඩි හැදෙන්න කොයිතරම් කාලයක් යනවාදැයි මට නිච්චියටම කියන්න බැහැ. සමහරවිට අවුරුදු පහක් දහයක් නැත්නම් අවුරුදු පහළොවක් ගත වෙන්න ඉඩ තිබෙනවා.
සරුවට හැදී වැඩී ලොකු-මහත් වුණු අඹ ගසේ මුල් ම අඹ ගෙඩිය ඔබ රස විඳින්න. මා ඔබෙන් අහන ප්‍රශ්නය මෙන්න මේකයි: ඔබ මුලින්ම කෑ අඹ ගෙඩියක් අලුත් ගසේ හැදුණු අලුත් අඹ ගෙඩියක් අතර සම්බන්ධය කුªමක්ද? මුල් අඹ ගෙඩියෙන් දෙවැනි අඹ ගෙඩියට ගලා ආවේ කුමක්ද? මේ ගෙඩි දෙක අතර ඍජු සම්බන්ධයක් නැහැ. ජීවිතයකින් තවත් ජීවිතයකට, කිසියම් දෙයක් ගලා යන්නා සේ අඹ ගසකින් ඒ අඹ ගසේ ඇටයකින් පැළ කළ අලුත් අඹ ගසටද යමක් ගලා යන බව ඇත්තක්. මක්නිසාද යත් ඔබ අඹ ඇටයක් පැළ කළ විට එම ඇටයෙන් ඇපල් ගසක් පැළ වෙන්නේ නැහැ.
මුල් අඹ ගසෙන් ලබාගත් අඹ ගෙඩිය හරිම රසවත් විත්තිය ඔබ දන්නවා. දෙවැනි අඹ ගෙඩිය ඒ වගේ රසවත් වෙන්නත් පුළුවන්. සමහර ඒවා ඒ තරම් රසවත් නොවෙන්නත් පුළුවනි. නියං කාලයේදී පැරැණි අඹ ගස නියඟෙට ඔරොත්තු දීම නිසා ඒ ගසේ අඹ ඇටයකින් පැළ වූ අලුත් අඹ ගසේ ඔරොත්තු දීමේ ශක්තිය, නැත්නම් ප්‍රතිරෝධය ශක්තිය ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. පළමුවැනි අඹ ගසට වඩා දෙවැනි අඹ ගස හාත්පසින්වෙනස්.

මුල් අඹ ගෙඩිය හා දෙවැනි අඹ ගෙඩිය හාත්පසින් වෙනස්. මුල් අඹ ගෙඩියේ ඇටය පැළ කළ පසු, පස් යට වැඩුණු ඇටය පුපුරා පුංචි අඹ පැළෑටියක් මතු වෙනවා. මේ අඹ පැළෑටියේ අතු ඉති ටිකෙන් ටික ලොකු මහත් වෙනවා. මේ විදිහට හේතුවත් ඒ හේතුව නිසා ප්‍රතිඵලයත් හැම දවසක එකට යා වෙමින් අඹ පැළය ලොකු ගසක් වී අතු ඉති සෑදි, මල් පිපී, මල් පරාග පෝෂණය වී, පල දරන්නට පටන් ගන්නවා. අලුත් අඹ ගසේ මුල්ම ගෙඩිය හැදෙන්නේ මෙන්න මේ විදිහටයි.
මේ විදිහට ඔබට වෙනසක් සිදු වන ආකාරය දකින්න පුළුවනි. හේතුවක් නිසා පලයක් ඇති වීමෙන් වෙනසක් සිදු වනවා. මුල් අඹ ගසෙන් දෙවැනි අඹ ගසට යමක් ගලා ආවා වගේම මිනිසා නම් සත්ත්වයාගේ මරණයෙන් පසුව ඔහු නැවත ඉපදෙනවා. නැවත ඉපදුණාම පෙර ජීවිතයට බැඳුණු කිසිවක් දැකගන්න අමාරුයි. ඒත් පරණ අඹ ගස පරිසරයට ඔරොත්තු දුන්නා වගේම අලුත් අඹ ගසටත් ඔරොත්තු දීමේ ශක්තියක් ලැබෙනවා. ඒ වගේම පරණ අඹ ගසේ අඹ ගෙඩිය රසවත් වුණ විදිහට අලුත් අඹ ගසේ අඹ ගෙඩියද රසවත් වෙන්න පුළුවන්. මෙය තමයි කර්මය කියන්නේ. පරණ අඹ ගෙඩි ගති සොබාවන්ට අලුත් අඹ ගසේ නැමියාවක් නැත්නම් නැඹුරුවක් තිබෙන්න පුළුවන්.
න්‍යායාත්මකව නැත් නම් සෛද්ධාන්තික වශයෙන් නැවත ඉපදීම හෙවත් පුනරුත්පත්තිය පැහැදිලි කරන්න උපයෝගී කරගත හැකි හොඳම උදාහරණය මේකයැයි මා සිතනවා. ඒ වුණත් මෙය ව්‍යවහාරයෙන් නැත්නම් ප්‍රායෝගිකව පැහැදිලි කරන්න නම් ඔබ මරණයට පත් වී මරණයෙන් පසු ඔබේ අත්දැකීම් මගින් නැවත ඉපදීම පැහැදිලි කරන්න පුළුවන්.
කෙනකු මරණයට පත් වූ පසු සිදු වන්නේ කුමක්ද? ඔබ මරණයට පත් වුවත් ඔබ තවමත් එතන සිටින බව ඔබ ඇසුවාම ඔබට පුදුම හිතේවි. ඔබ මරණයට පත් වූ පසු අවට අය වැලපෙමින් සිටින අතර ඔබ සිරුරෙන් වෙන් වී ගොස් සිදු වන දේවල් දකිමින්, ඇහෙන දේවල් අසමින් සිටීම ඔබට අත්දකින්න පුළුවන් වේවි. මේකට කියන්නේ ශරීරයෙන් ඉවතට පා වී යෑම කියලයි.
මේ පිළිබඳ ඉදිරිපත් කළ හැකි හොඳම උදාහරණයකට සම්බන්ධ සත්‍ය කතාවක් මම දැන් ඔබට කියන්නම්. මා මේ ඔබට කියන සිද්ධිය මා කියවපු සඟරාවක තිබූ ලිපියක තිබුණු සිද්ධියක්. ඒ ලිපිය ලියා තිබුණේ බෞද්ධයෙක් නොවන කෙනෙක් වීම විශේෂ සිද්ධියක්. එය බෞද්ධයන් විසින් ලිව්වා නම් “එහෙම තමයි බෞද්ධයන් හිතන්නේ, බෞද්ධයන් නැවත ඉපදීම විශ්වාස කරනවා කියා මේ වගේ දේවල් ලියනවා” යැයි කියන්න ඉඩ තිබෙනවා.
මේ ලිපිය ලියූ තැනැත්තා එම ලිපියෙන් අනාවරණය කර ඇත්තේ මරණය පිළිබඳ ඔහුගේ අත්දැකීම්. මේ අත්දැකීම් අනාවරණය කිරීමෙන් ඔහුට නැති වෙන්න නැත් නම් අහිමි වෙන්න බොහෝ දේ තිබුණා. මේ සිද්ධිය හෙළිදරව් කරන්නේ බටහිර ඕස්ට්‍රේලියාවේ හිටපු සෙනෙට් මන්ත්‍රීවරයෙක්. ඔහුගේ නම ග්‍රේහෑම් එඩ්වඩ්. ඔහු දැන් විශ්‍රාම ගොස් ඇතැයි මා සිතනවා. රෝද පුටුවක ගමන් කරන දේශපාලකයෙක් විදිහට ඔබට ඔහු මතක ඇති. ඔහු නිසාම අලුත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල රෝද පුටුවලින් යා හැකි ආකාරයට තනා තිබෙනවා.
ඔහු ලියා ඇති ලිපිය හරිම සිත්කාවදින ලිපියක්. මේ ලිපියේ හැටියට ඔහුට ඔහුගේ දෙපා අහිමිව ඇත්තේ වියට්නාම් යුද්ධයේදී. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වියට්නාම් යුද්ධයට සහභාගි වූ මේ තැනැත්තා යුද පිටියේදී වෙඩි වැදී තුවාල ලැබූ තවත් සගයකුට පිහිට වීමට, තුවාල ලැබූ තැනැත්තා දිහාවට දුවගෙන යන වේලාවේ, බිම් බෝම්බයකට ගොදුරු වී කකුල් දෙකම කැඩුණා.
බිම් බෝම්බයට අසු වූ සැණෙන්, විදුලි සැරක් වැදුණා වගේ නිමේෂයකින්, විඳ දරාගන්නට බැරි තරම් වේදනාවකින් පසුව, ඔහුට ඊළඟට අත්දකින්නට ලැබුණේ අමුතුම අත්දැකීමක්. ඔහුගේ වචනවලින් කිව්වොත් ඒ අත්දැකීම මෙසේය:
“ඊට පස්සේ මෙතෙක් විසූ ලෝකය ගැන කිසිම තැකීමක් නැතුව, වියට්නාමයේ කුඹුරු ඉහත්තාවෙන් මා පාවීගෙන ගියා. එවිට මට දැනුණේ හරිම නිදහසක්, හිතේ සාමයක්. එය තමයි මා මගේ ජීවිතයේදී අත්දුටු හරිම පුදුමාකාර අත්දැකීම.”
තාවකාලික මරණයට පත් වී විඥාන ධාරාව සිරුරෙන් ඈතට පා වී ගිය හැම කෙනකුගේම අත්දැකීම් මේ සමානයි. මේ විදිහට මරණයට පත් වී ශරීරයෙන් වෙන් වී, ඒත් ඇසීම, දැකීම ලබමින් සිදු වෙමින් පවතින දේවල් නිරීක්ෂණය කිරීමට ඉඩ ලත් සෑම දෙනෙකුගේම අත්දැකීම් මේ වගේ විස්මය ජනකයි. හරිම සන්තුෂ්ටියක් හා හිතේ සාමයෙන් සැනසීමෙන් පිරුණු අත්දැකීමක්. ඔවුන් නැවත ශරීරයට එක්කාසු වී ප්‍රාණය ලැබූවාට පසුව මරණයට කොහෙත්ම බය නැහැ. මරණය කියන්නේ බය වෙන්න දෙයක් නොවෙයි කියා ඔවුන් අනික් අයට කියනවා. මියයෑම බියට පත් වීමට කරුණක් වෙන්න පුළුවන්. මක් නිසාද යත්: මියයෑමේදී වේදනාවට පත් වීම, හුදෙකලා වීම මගින් බියක් දැනුණත් මරණය බියට පත් විය යුතු නැති සුන්දර අත්දැකීමක්. එය තාවකාලික මරණයට පත් වී නැවත ජීවත් වීමට වාසනාව ලැබූ අයගේ අත්දැකීමක්.
බිම් බෝම්බයට ගොදුරු වී, බරපතළ තුවාල ලැබූ, තමා ශරීරයෙන් වෙන් වී කොයි තරම් වේලාවක් ඉහළ අහසේ පා වෙමින් පුදුමාකාර සහනයක් ලැබුවා ද කියා ඔහු දන්නෙ නැහැ. ආපසු ශරීරයට එන්නට සිදු වූ හේතුව ඔහු මෙහෙම පවසනවා:
ඒකට හේතුව ඔහුගේ සිතේ පහළ වූ සිතිවිල්ලක්. එනම් දරුවකු ලැබීමට ආසන්නව පර්ත්වල සිටි තම භාර්යාවට, දරුවා ලැබුණා පමණයි. මේ නිසා පියකු වශයෙන් තමාට පැවරී ඇති වගකීම් ඔහුට සිහිපත් වුණා. මම මගේ භාර්යාවත්, අලුත උපන් දරුවාත් අත්හැර දමා යන්නට හොඳ නැහැ යි ඔහුට සිතුණා. මේ සිතිවිල්ල සමඟ ඔහු නැවත ඔහුගේ ශරීරයට උරාගත් බව ඔහුගේ අත්දැකීමයි. ඔහුගේ සිරුරට නැවත එකතු වීම සමඟ ඔහුට දරාගන්නට අමාරු තරම් වේදනාවක් දැනුණ බව ඔහු කියනවා. ඉන් අනතුරු ව ඔහුට සිහිය ඇවිත් මොහොතකට පසු ඇස් හැර බලන විට රෝහලක තමා ඇඳක් උඩ සිටින බව වැටහුණු බව ඔහු කිව්වා.
දේශපාලනඥයෙක් වුණත්, ඔහු ඔහුගේ මේ අපූරු අත්දැකීම ලිවීමට තරම් නිර්භීත වුණා. නින්දා අපහාස සිදු වෙන්න ඉඩ තිබුණත් තමාගේ අත්දැකීම් වෙනත් අය සමඟ බෙදා-හදාගන්නට ඔහුට ඕනෑ වුණා. ඒක අතිවිශිෂ්ටයි.
පුනරුත්පත්තිය නැත් නම් නැවත ඉපදීම ගැන මා මේ දේවල් කියන්නේ ඇයි? පුනරුත්පත්තිය සිදු වන බව විශ්වාස කිරීමට අප්‍රමාණ සාක්ෂි තිබෙන බව ඔබ දන්නවා. මේ විදිහට සිදු වන්නේ කුමක්දැයි ඔබ දැනගත්තාම ඔබ ඔබේ ජීවිතය දිහා බලන විදිහ වෙනස් වෙනවා; ජීවිතය පිළිබඳ ආකල්ප වෙනස් වෙනවා. සමහර අය බොහෝ දේවල් දිහා බලන්නෙ බොහෝම පටු විදිහටයි. ජීවිතය කියන්නේ එක ජීවිතයක් විතරයි කියා සිතන එකත් ඉතාමත්ම පටු විදිහට සිතීමක්.
එක ජීවිතයක් පමණක් ඇතැයි සිතුවාම බොහෝම සිත් තැවුල්, බලාපොරොත්තු කඩ වීම් ඇති වෙනවා; ඒ වගේ බොහෝම වද-වේදනා දුක්-පීඩාවන්ට පත් වෙනවා. මක් නිසා ද යත්: එක ජීවිතයකදී සැම විට ම සිතූ-පැතූ විදිහට දේවල් සිදු වන්නේ නැහැ. සමහර වේලාවට එකම ජීවිතයක් පමණයි ඇත්තේ කියා සිතුණාම එම ජීවිතය ශෝකයෙන් පිරී යනවා. එක ජීවිතයක් පමණක් ඇතැයි සිතාගෙන සිටියොත් ජීවිතය හැමවිටම හොඳ පැත්තට ගමන් කරන්නේ නැහැ. සමහරවිට ඔබට හොඳ ජීවිතයක් ලැබී තිබෙන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපට ඒ තරම් මැසිවිලි කියන්නේ නැති හොඳ ජීවිතයක් ලැබී තිබෙන්න පුළුවන්. ඒත් පත්තරවලින්, රූපවාහිනියෙන් ලැබෙන ආරංචි ගැන බලන්න.
පලස්තීනයේ, සිම්බාබ්වේ වැනි ලෝකයේ ගිනි ඇවිළෙන වෙනත් තැන්වල සිදු වන දේවල් දිහා බලන්න. මෙහෙම වෙන්නේ මොකද? හරිම අසාධාරණයි නේද කියා සිතෙන්න පුළුවන්. අපි පටුවට හිතන්නේ නැතිව පුළුල් චිත්‍රය දිහා බැලුවාම අපේ සමහර ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්න පුළුවනි. ජීවිතය දිහා පටු විදිහට බලන්නේ නැතිව අපි නැවත නැවත ඉපදෙනවා කියා පුළුල් චිත්‍රය දිහා බැලුවාට භවයෙන් භවයට යන ජීවිතය, හරියට පාසලකට, විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙනගන්නවා, පුහුණුවක් ලබනවා වගෙයි. අපි පාසලකට විශ්වවිද්‍යාලයකට යන්නේ එක අවුරුද්දකට විතරක් නොවෙයි. අපට නිවාඩු කාලය ලැබෙනවා. ඊට පස්සෙ අපි තවත් දේවල් ඉගෙනගන්න පාසලට නැත්නම් විශ්වවිද්‍යාලයට යනවා. ඔබ ඊළඟ අවුරුද්දෙත් ඉගෙනගන්න පාසලට නැත් නම් විශ්වවිද්‍යාලයට යනවා.
පාසල් අධ්‍යාපනය, නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කළ පමණින් ඔබේ ඉගෙනීම නිමවෙන්නේ නැහැ. හැම අවුරුද්දකම අප තවත් ටිකක් ඉගෙනගන්න ඕන විත්තිය ඔබ කවුරුත් දන්නවා. බුද්ධිය එකතු කරගන්නවාට වඩා අපි අත්දැකීම්වලින් දැනුම එකතු කරගන්නවා. මේකට කියන්නේ අත්දැකීම් ඥානය කියලයි. අත්දැකීම් ඥානයෙන් ජීවිතය ගැන ඉගෙනගන්නවා. පොහොසත් වීම, කීර්තිමත් වීම, කීර්තිමත් නොවීම වැනි දේවල් නොව ජීවිතය ගැන ඉගෙනගන්නවා.
ජීවිතයේ වඩාත්ම වැදගත් දේවල් ගැන ඉගෙනගන්නවා. අපි එක ජීවිතයක් නොව ජීවිත ගණනාවක් ජීවත් වෙනවාය කියා දැනගත්තාම ජීවිතයට සම්බන්ධ පුළුල් චිත්‍රය පිළිබඳ තවත් පුදුමාකාර දෙයක් තිබෙනවා. එක ජීවිතයක් කියා සිතුවාම ජීවිතය පිළිබඳ චිත්‍රය පටුයි. එක ජීවිතයක් නම් තිබෙන්නේ එය කෙටි ජීවිතයක්. අවුරුදු 60කින් 70කින් 80කින් නිම වන ජීවිතයක් කියන්නේ කෙටි ජීවිතයක්. මේ කාමරයේ සිටින අපගේ වයස කොපමණද? බොහෝ දෙනෙකුගේ ජීවිතයේ හොඳ හරිය ගෙවී ගිහින්. එක ජීවිතයක් කියන්නේ නිමේෂයක් විතරයි. ඔබ හැමදෙනාම ඒක දන්නවා.
‘ෂහ්, මගේ ජීවිතයේ හොඳ හරිය ගිහින්. මට දැනටමත් වයසයි!’ සමහර වේලාවට ඔබ සිතනවා. එක ජීවිතය කියා පටු චිත්‍රය දිහා බැලුවාම එසේ සිතුවත් පුළුල් චිත්‍රය දිහා බැලුවාම ඊට වැඩිය වෙනස්.

Read more »

ආනන්ද හාමුදුරුවෝ

ගෞතම බුද්ධ ශාසනයේ සුවිශේෂ ස්ථානයක් භජනය කරන ආර්ය ශ්‍රාවකයන් වහන්සේ අතර ධර්මභාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් වහන්සේට හිමි වනුයේ අතිසුවිශේෂ ස්ථානයකි. මේ ලිපිය බුද්ධ උපස්ථායක වූ ද, තවත් අග්‍රස්ථාන සතරකින් ම සම්මානිත වූ ද ඒ ආනන්ද මහ රහතන් වහන්සේ පිළිබඳ ව ය.





           ආනන්ද මහතෙරුන් වහන්සේ සසර බොහෝ කලක් බෝසතුන් සමග එක් ව හැසිර දෙදෙනා ම ඔවුනොවුන්ට හිතවත් ව ඇතැම් භවයක මිත්‍රයින් ව ද ඇතැම් භවයක සොහොයුරන් ව ද ඇතැම් භවයක ගුරු-සිසුන් ව ද විසීම නිසා දැඩි වශයෙන් තථාගතයන් වහන්සේ කෙරෙහි හිතවත් වූ මේ භවයේදී තථාගතයන් වහන්සේගේ ගිහි ජීවිතයේ සහලේ ඤාතියකු වීමෙන් වඩාත් ගරු කටයුතු පුද්ගලයෙක් වූ සේක;එහෙයින් ම සෑම විටක ම තථාගතයන් වහන්සේ කෙරෙහි විශේෂ ගෞරවයක් හා ආදරයක් ඇති ව විසූ හ.තථාගත ශ්‍රාවකයන් අතර සම්බුදුරදුන් හා සමාන වයස් ඇති ව විසූ එක ම ශ්‍රාවකයන් වහන්සේ ද ආනන්ද තෙරහු ම වූ හ (බෝසතුන් සමග එකදා උපන් හෙයිනි).
බුද්ධ ශ්‍රවකයන් අතර තනතුරු පහක් ලැබූ උතුමාණෝ ද ආනන්ද හිමියෝ ම වෙති.
“ඒතදග්ග,භික්ඛවේ මම සාවකානං භික්ඛුනං බහුස්සුතානං යදිදං ආනන්දෝ,සතිමත්තානං යදිදං ආනන්දෝ ගතිමත්තානං යදිදං ආනන්දෝ, ධිතිමත්තානං යදිදං ආනන්දෝ උපට්ඨාකානං යදිදං ආනන්දෝ...”
“මහණෙනි, මගේ ශ්‍රාවක බහුශ්‍රැත භික්‍ෂූන් අතුරෙන් ආනÁද තෙර අග්‍ර ය. ස්මෘතිමත් (මනා සිහි ඇති භික්‍ෂූන් අතුරෙන් ආනÁද තෙර අග්‍ර ය. මහා ඤාණ ගති ඇති භික්‍ෂූන් අතුරෙන් ආනÁද තෙර අග්‍ර ය. ධෘතිමත් (ධෛර්ය සම්පන්න) භික්‍ෂූන් අතුරෙන් ආනÁද තෙර අග්‍ර ය. උපස්ථායක භික්‍ෂුන් අතුරෙන් ආනÁද තෙර අග්‍ර ය”යනු මෙහි භාවාර්ථ යි.
බහුශ්‍රැත යනු බොහෝ ඇසූ-පිරූ තැන් ඇති බව යි; එනම් බොහෝ දේ අසා දැනගැනීමෙන් පිරුණු බව යි. ප්‍රධාන වශයෙන් බහුශ්‍රැතයා නම් ධර්මවිනය ගැන දැනීම ඇති උසස් ම ධර්මධරයා යි. බුද්ධ ශ්‍රාවකයන් අතර සාරිපුත්ත-මොග්ගල්ලාන, මහා කාශ්‍යප, අනුරුද්ධ, පුණ්ණ ආදි ශ්‍රාවකයෝ ද බහුශ්‍රැතයෝ ම වූ හ. එසේ කල ආනÁද තෙරුන් ම බහුශ්‍රැතයන් අතර ප්‍රධානත්වයෙහි තැබුවේ කුමක් නිසා දැ යි සිතිය යුතු යි. ආනÁද හිමියන් බුද්ධ වචනය උගන්නා කල්හි තථාගත ශාසනයෙහි “ධර්ම භාණ්ඩාගාරික පර්ය්‍යාප්තියෙහි” සිට එය ප්‍රගුණ කළ හෙයින් ආනÁද හිමියෝ ම බහුශ්‍රැත භික්‍ෂූන් අතර අග්‍ර වූ හ. ආනÁද හිමියෝ නවාංගශාස්තෘ ශාසනය මනා සේ ප්‍රගුණ කළහ (සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධර්ම, වේදල්ල යනු නවාංගශාස්තෘ වචනය යි).
විනය පිටකයෙහි භික්‍ෂු- භික්‍ෂුණි ප්‍රාතිමෝක්‍ෂ දෙක හා නිදේදස ඛන්‍ධක පරිවාර යන මේ ධර්ම කලාප ද, සූත්‍ර නිපාතයේ මංගල සූත්‍ර, රතන සූත්‍ර, නාලක සූත්‍ර, තුවටක සූත්‍ර යන මේවා ද සූත්‍ර නමින් යුත් වෙනත් දේශනා ද යන සියල්ල එක් කොට “සූත්‍ර” යයි කියනු ලැබේ.
එසේ ම සියලු ගාථා සහිත සූත්‍ර සමූහය විශේෂයෙන් සංයුත් සඟියෙහි සියලු සගාථක වර්ගය (ගාථා සහිත සූත්‍ර දේශනා) ‘ගෙය්‍ය’ නම් වේ. සම්පූර්ණ අභිධර්ම පිටකය හා ගාථා රහිත (ගාථා නැති) සූත්‍ර සමූහය මේ සියල්ල ‘වෙය්‍යාකරණ’ නම් වේ.
ධම්මපද,ථේර ගාථා,ථේරි ගාථා යන ධර්ම කොට්ඨාස ද සූත්‍ර නිපාතයේ ඇතුළත් සූත්‍ර නමින් තොර වූ සුද්ධ ගාථා දේශනා ද ‘ගාථා’ නම් වේ.
තථාගතයන් වහන්සේ විසින් යම් යම් තැන්වලදී උදාන වශයෙන් (පී‍්‍රතිවාක්‍ය වශයෙන්) වදාළ දේශනා සියල්ල ‘උදාන’ නම් වේ. ‘අනේක ජාති සංසාරං’ යනාදි ප්‍රථම බුද්ධ වචනය හා වෙනත් එවැනි දේශනා සොම්නස් සහගත මහා ඥානයෙන් උපන් නිරාමිෂ උත්තම පී‍්‍රතිය ප්‍රකාශ කිරීම් වශයෙන් වදාළ අසූ දෙකක් සූත්‍ර දේශනා සියල්ල ‘උදාන’ සඞ්ඛ්‍යාවට ඇතුළත් වේ.
“වුත්තං හේතං භගවතා චුත්ත මරහතා” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද සියලු දේශනාවෝ ‘ඉතිවුත්තක’ නම් වෙති.
අපණ්ණක ජාතකය ආදි කොට වෙස්සන්තර ජාතකය අවසන් කොට ඇති පන්සිය පනස් ජාතක දේශනාවෝ ‘ජාතක’ නම් වෙත්.
තව ද එසේ ම ආශ්චර්ය අද්භූත ධර්මයන්ගෙන් යුක්ත වූ අච්ඡරිය-අද්භූත සූත්‍රාදි දේශනාවෝ ‘අද්භූත’ධර්ම වෙත්.
චුල්ලවේදල්ල,මහාවේදල්ල,සම්මා දිට්ඨි,සක්කපඤ්හ,සංඛාර භාජනිය,පුණ්ණම සුත්ත ආදි නම්වලින් දැක්වෙන දේශනාවෝ ‘වේදල්ල ධර්ම’ නම් වෙත්.
මේ දැක්වූ ‘නවාංග ශාස්තෘ වචනය’ ඉගැනීමේදී ආනÁද හිමියෝ පාලි ධර්මයෙහි අර්ථ මැනවින් උගත්හ; නිරුක්තිය (ව්‍යාකරණය) ද අකුරුවල ඇති වෙනත් අර්ථ හා ගැළපීම් ද දැනගත්හ; පරස්පර විරෝධ නොවන ලෙසින් දැනගත්හ; ධර්ම පාඨයන්හි මතු අර්ථය හා යට අර්ථය ද, මුල මැද හා කෙළවර ඇති අර්ථ ද ඒ තුන් තැනෙහි අර්ථයන්ගේ ගැළපීම් ද යට අර්ථයාගේ හා මතු අර්ථයාගේ ගැළපීම් ද මනා සේ ප්‍රගුණ කළහ. මේ නිසා ආනන්ද හිමියෝ බහුශ්‍රැත භික්‍ෂූන් අතර අග්‍ර වූ හ.
තව ද ආනන්ද හිමියන්ට තථාගතයන් වහන්සේ නොවදාළ ධර්මයක් නැත.විශේෂයෙන් ගිරිමානන්ද සූත්‍ර; මිගසාල සූත්‍ර, සුසීම සූත්‍ර, මාලුඞ්ක්‍ය සූත්‍ර, අන්‍ධකවිÁද සූත්‍ර, බග්ගවිසාණ සූත්‍ර, මහා නිදාන සූත්‍ර, මහා සුදස්සන සූත්‍ර, පරිනිර්වාණ සූත්‍ර,යනාදි සූත්‍රයෝ ආනන්ද හිමියන්ට ම තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ඒවා වෙත්. ජාතක දේශනා අතුරෙන් ද මහාසාර ජාතක,මහා අශ්වාරෝහක ජාතක,නානාච්ඡන්ද ජාතක,මහාසුදස්සන ජාතක, පලාස පුණ්හ යනාදි ජාතක දේශනා ද ආනන්ද හිමියන්ට ම දේශනා කළ ජාතකයෝ වෙති.
තව ද සුභ සූත්‍ර, ගොපක මොග්ගල්ලාන සූත්‍ර, නිගණ්ඨ සූත්‍ර ආදි සූත්‍ර දේශනාවෝ ද ථේර ගාථාවෙහි බොහෝ ගාථා ද ආනන්ද ථේරාපදානය ද ආනන්ද හිමියන් විසින් ම වදාළ ධර්ම දේශනාවෝ ය. මෙසේ භාණ්ඩාගාරික පර්ය්‍යාප්තියේ සිට නවාංගශාස්තෘ වචනය උගත් හෙයින් ද අර්ථ ව්‍යඤ්ජන මනා සේ ප්‍රගුණ කළ හෙයින් ද බොහෝ දේශනාවන් තමන් වහන්සේ ම වදාළ හෙයින් ද ආනන්ද හිමියෝ බහුශ්‍රැතයන් අතර අග්‍ර වූ හ.
තව ද ආනන්ද හිමියෝ බුදුරදුන්ගෙන් ශ්‍රවණය කළ ධර්මය එපරිද්දෙන් ම පුහුණු කොට ධර්මයෙහි මසුරුකමක් නොමැති ව ඒ ධර්මය සවිස්තර ලෙසින් අන්‍යයන්ට ද ප්‍රගුණ කරවන්නා හ: එසේ ම උගත් ධර්මය හා ප්‍රකාශ කළ ධර්මය ද පුහුණු කළ ධර්මය ද පිළිබඳ ව නැවත නැවත මෙනෙහි කරමින් අර්ථ හා ව්‍යඤ්ජන පද වශයෙන් නැවත නැවත තර්ක කරමින් සිතින් විචාරමින් වැඩිදුරටත් ප්‍රගුණ කළහ;
තව ද ආනන්ද හිමියෝ ධර්මධර,සූත්‍ර ධර,විනයධර මහ තෙරවරුන් සිටිනා ආරාමයක් ම ඇසුරුකොට වස් එළඹ ඒ ධර්ම විනයධර බහුශ්‍රැත තෙරවරුන්ගෙන් ද “ස්වාමීනි, මේ පාලි පාඨයේ අදහස කුමක් ද? ගැළපීම කෙසේ ද? අනුසන්ධිය (එකිනෙක ගැළපීම) කෙසේ ද?”ආදීන් විචාරා සැක දුරු කොට තවතවත් දැනීම දියුණු කරගත්හ. මේ නිසා ද බහුශ්‍රැත භික්‍ෂූන් අතර අග්‍ර වූ හ.
තව ද ආනන්ද හිමියෝ මනා සිහි ඇති භික්‍ෂූන්ගෙන් ද අග්‍ර වූ හ.තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය රන් බඳුනක වත් කළ සිංහතෙල් මෙන් නොනැසී අමතක නොවී දරාගැනීමෙහි සමත් ධාරණ ශක්තිය සිහි බුද්ධිය වෙනත් කිසිම භික්‍ෂුවක් කෙරෙහි පිහිටියේ නැත.එනිසා ප්‍රථම ධර්ම සංගායනාවේදී ආනන්ද හිමියන් දැක්වූ ධාරණ ශක්තිය අද්භූත ය.තථාගතයන් වහන්සේ වදාළ සියලු ධර්මය ඉස්පිල්ලක් පාපිල්ලක් නොහැර සිහියේ තබාගෙන ධාරණය කරගෙන සිටි හෙයින් ම ත්‍රිපිටක බුද්ධ වචනය පිරිසිදු ව සඞ්ගායනා කිරීමට හැකි විය. මේ නිසා ආනන්ද හිමියෝ ස්මෘති සම්පන්න භික්‍ෂූන් අතර අග්‍ර වූ හ.
තව ද,ආනන්ද හිමියෝ ඤාණ ගති ඇති භික්‍ෂූන් අතර ද අග්‍ර වූ හ.මෙහි ඤාණ ගති යනු ධර්ම-විනය දෙක ඉගෙනීමට සමත් ඥානය යි.ආනන්ද හිමියෝ හිටි අඩියේ ම ගාථා දස දහසක් හෝ පහළොස් දහසක් පමණ එකවර වණ පොත් කිරීමෙහි ද දරාගැනීමෙහි ද සමත් ඤාණයෙන් සමන්විත වූ හ.
තව ද ආනන්ද හිමියෝ ධෛර්යවත් භික්‍ෂූන් අතර ද ප්‍රධාන වූ හ.උන් වහන්සේ තථාගත වචනය ඉගැනීමේදී ද දරාගැනීමේදී ද සජ්ඣායනා (පාඩම් කළ දෙය අමතක නොවනු පිණිස නැවත නැවත කීමෙහිදී)කිරීමෙහිදී ද ධර්ම දේශනා කිරීමේදී හා උගැන්වීමෙහිදී ද කිසිදු මැළි බවක් හෝ උදාසීන බවක් නො දැක්වූ හ.එපමණක් ද නො ව, තථාගතයන් වහන්සේට උපස්ථාන කිරීමේදී ද දැක්වූ වීර්යය ද ආශ්චර්ය ය. මේ නිසා ආනන්ද හිමියෝ ධර්මය පිළිබඳ උග්ගහණ වීර්යය, ධාරණ වීර්යය, සජ්ඣායනා වීර්යය, හා තථාගත උපස්ථානය පිළිබඳ වීර්යය යන වීර්යයන්ගෙන් යුක්ත වූ හෙයින් ධෘති සම්පන්න භික්‍ෂූන් අතර ද අග්‍ර වූ හ.
තව ද මේ ආනන්ද හිමියෝ තථාගතයන් වහන්සේගේ උපස්ථායක භික්‍ෂූන් අතර ද අග්‍ර වූ හ.වරින් වර තථාගතයන් වහන්සේට උපස්ථාන කළ භික්‍ෂූන් සිටිය ද ආනන්ද හිමියන් මෙන් නියම උපස්ථායක පිළිවෙතෙහි පිහිටා සම්බුදු රදුන්ගේ සිත ද දිනාගෙන බොහෝ කල් උවැටැන් කළාහු ආනන්ද හිමියෝ ම ය.
උපුටා ගැනීම - www.namaskara.lk

Read more »

මහණෙනි














   "මහණෙනි, යම්සේ අලසකම මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, මේ අලසකම මහත්වූ අනර්ථය පිණිස පවතී. මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රධාන වීර්යය මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, සම්‍යක් ප්‍රධාන වීර්යය මහත්වූ අර්ථය පිණිස 
පවතී."


- කොසජ්ජ සහ විරියාරම්භ සූත්‍ර, පමාද වග්ගය, එක නිපාතය, අංගුත්තර නිකාය-

තවත් කියවන්න..

http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/4Anguttara-Nikaya/Anguttara1/1-ekanipata/009-Pamadavaggo-s.html



Homage to the Blessed One, the Worthy One, the Highest Self-Enlightened One!

"Bhikkhus, I do know of anything conducive to misery as laziness. Bhikkhus, laziness is miserable. This is the fourth. Bhikkhus, I do not know of anything conducive to the profitable as aroused effort. Bhikkhus, aroused effort is profitable. This is the fifth."

- Kosajja & Viriyarambha Suttas, Pamada Vagga, Ekakanipata, Anguttara Nikaya,

See the sutta here (case-sensitive):

http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/4Anguttara-Nikaya/Anguttara1/1-ekanipata/009-Pamadavaggo-e.html

 metta.lk

Read more »

මාගේ දිවියම විද්‍යාව වෙනුවෙන් කැප කල මා යමක් ලබා ගත්තේ නම් ලබාගත්තේ බුදු දහමින් පමණි.

මාගේ දිවියම විද්‍යාව වෙනුවෙන් කැප කල මා යමක් ලබා ගත්තේ නම් ලබාගත්තේ බුදු දහමින් පමණි.

පිටුවට සම්බන්ද වූ සාමාජිකයන්